Tuesday, January 25, 2022

කුරුණෑගල

(උදේනි සහ අසෝකා සරත්චන්ද්‍ර යුවළට සහ නගරයේ දී මුණගැසුණු ආලෝක මිනිසුන් වෙනුවෙනි)

ඇතුගල උඩ මහ බුදු රුව
පවසයි දහමක් ලොවකට
සැඟවුණු උරුමය කැටි කොට
නැති වූ උරුමය මතු කොට

වෙළෙඳ හලකි නෙත හුරු වන
ඇසේ බස් ද හද සනසන
ආලෝකය හද රඳවන
මිතුරන් වැනි මිනිසුන් කැල

ළඳකි රුවැති ගරු බස් දෙන
හදවත් නවයක් සරසන
නගරය වෙස් ගෙන අලූතව
සඟවා රමණිය පැරණිය

විල් තෙර අසිරිය අරුමෙකි
මිය ගිය යුගයක් රඳවන
මඳ නල දුවමින් සනසයි
මහලුව ගිය ආඳාගල

නැති වූ මිතුරන් සමුවෙයි
කවි සඟවන විල් තෙර මැද
තුටු කඳුළක් දෙනෙත රැඳෙයි
නැති වූ ලෝකය සදමින

යා යුතු වෙයි මගෙ ගම රට
ගොළු මුහුදෙන් එතෙර රැඳුණු
මතක පොකුරු ගෙන යමි මම
යළි එන වග සිහිපත් කොට

(2007 දෙසැම්බර් මස 9)

 සිහිනයක්  

මා නිදියන කල මහ රැය 

ගණ කළුවර එයි අවදි ව 

ගොතමින් මිය යන සිහින ද 

රැළි සේ වෙරළක ගැවසෙන 

 

එක සිහිනෙක ඔබ සිටියා  

මිය ගිය මවගේ රුව ගෙන අ

සරණ වී මහ වනයක 

සුව දුක් සොයමින් මා ගැන 

 

කිම වන මැද ඔබ තනි වී 

අසන්නීය හිස පිරිමැද 

දරු දෙදෙනා දන් දුන්නේ 

මතු බුදුවන බව දැන දෝ 

විමසන්නී ඇය නිරතුරු

මහ වනයේ මා ළඟ සිට 

තනිකම පිසමින් මහ රැය 

 

වනයේ ගණ කළුවර මැද 

අප තනි වූ බව දැනගෙන  

ඔබ ගැන මව තතු නොඅසන  

කාරණය ද මට පැණයකි  


මම ද කඳුළු නෙත පුරවා 

දුක් මුසු ලෙස බැලිමි අහස 

වැහි පොද පැතිරෙත අප වට 

ගණ කළුවර වන පෙත මැද 

 

සිහින ලොවින් මා අවදිව 

බිය වී දුවනට සැරසෙමි 

වැහි පොද පිණි ලෙස ඇවිදියි 

මහ කළුවර රැළි වට කොට 

 

බිය අත හැර මා අවදිව 

බැලිමි අහස ලොව පැතිරුණු 

ඔබ විය අහසේ පාවෙන 

වළාකුලක් වී සිහිතල 

කඳුළු රොදින් මා සනසන 

මව රැඳි සිහිනය වට කොට  

 

සුනිල් ගෝවින්නගේ