Sunday, April 17, 2011

පර්ත් නුවර අවුරුදු- 2011

ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා දෙනෙත
බැංකේසියා මල් පමණකි සිනාසෙන

අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත උදෑසන
අවුරුදු කොයි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහි දෝ උදෑසන

කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන

ඉර පායා ගන කළුවර මැකේවි දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි දෝ
අවුරුදු නැති අපට සතුටක් ලැබේවි දෝ


(2011 අප‍්‍රියෙල්, 14)

Monday, March 28, 2011

THE MUTE AUSTRALIAN NEWS CHANNELS

The wind outside is a concrete slab.
Even the distant Mute Sea is angry
frowning at us like a lamp post in the street.


We kept our doors and windows open
waiting for a drop of wind from the ocean
who has ignored us tonight.

We;
two old brown Aussies
with diasporic bonds with mother country
searched links on cricket pages
as Australian television is blind tonight,

to observe the Match
between Sri Lanka and England.

No coverage on Sri Lanka’s quarter finals
with our Queen’s Team.


The morning has arrived,
and there is no sign of wind
as the world outside is still mute,

No sounds of victory from Colombo.

Even our national weekly,
The Australian,
carried only an online report
with a blurred image of Dilshan
for thirty-two seconds.

In Australia,
we are not interested in Third World news
even if the mother country is involved!

Wednesday, January 12, 2011

පර්ත් නුවර පායයි සඳ!

මම කවියෙකි සයුරු ඉමක
ලෝ සත දුක හැම වළඳන!

දුක් නිමවන මඟක් කියා
පර්ත් නුවර පායයි සඳ!

හද රැඳ වූ දුක කියමින
ගම සිහි කොට මතක රටක!

http://www.youtube.com/watch?v=9UQ_AJquspk

Friday, December 31, 2010

මිනිසත් කම හද රඳවන ඔබ කවියෙකි මතකය මැද

(අසංක නිරෝෂා කවියාට)
මාමා යැයි මා අමතන
කවියෙකු නැත මේ තෙදියත
ඔබ පමණය කවියෙකු මට
නෑකම් කවියට අමුණන

දසකය මතු වූ දිනයක
ගොළු මුහුදේ සුවඳ ලෙසින
ඔබ මතකය මතුවන කල
ලියමි මෙකව ඔබ අමතන

කවියන් අද විරල ය ලොව
ඔවුන් දෙඅත නැත අවි බල
එනමුත් කවියන් හද තුළ
මිනිසත්කම වේ රූපක

කවියන් මතු වූ කැලයක
රැඳෙනා‘මුත් ඔබ නිබඳව
ඔබ මිනිසෙකි කවි හඳුනන
කවි මනසින් හද සුරකින

නොලියන‘මුත් හෙළ කවි අද
මිය යන මතකය රඳවන
මා ලියනා කවි බස් මැද
මතුවෙයි ඔබ කවියෙකු ලෙස
මිනිසත්කම හද රඳවන

(2011 ජනවාරි 1)

Thursday, September 30, 2010

ඔපෙරාව බලන්නට නොඑමි

ගොළු මුහුද එතෙර වුව ඇසෙයි මට දුක් රාව
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව නොවේ ඔබෙ ඔපෙරාව

කුරිරු යුද රැස් වැදී දැවී ගිය ලංකාව
නිවන ජල කඳක් වෙද ඔබ ලියූ ඔපෙරාව?

යුදට ගොස් දිවි මැකුණු
එකම පුත් සොහොන මත
ඇඬූ මා පියන් කැල මකා හද කම්පාව
නිවන්නට හැකිවේ ද ලියූ ඒ ඔපෙරාව?

සුතනඹුන් හැර දමා මරා හද රැඳි බිය ද
නුහුරු අවියක් රැගෙන කුරිරු යුද බිමට ගිය
අපේ රණ විරුවන්ට ඇසේ වි ද ඔපෙරාව?

ගොළු මුහුද වියරු වී මැකූ දින ගම් දනව්
මා පියන් අහිමි වූ දරු කැලට
සැනසුමක් ගෙන දේ ද ඔබ ලියූ ඔපෙරාව?

බෙහෙත් උගුරක් නැතුව
රෝහලේ අගු පිළක
වැටී දුක් කඳුළු ගත්
ඔබේ රට වැසියන්ට ඇසේ වි ද ඔපෙරාව?

ගොළු මුහුද එතෙර වු ව දකිමි මම කුරිරු රළ
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව මට එපා ඔපෙරාව!

Friday, September 24, 2010

වරාගොඩ ධර්මාලෝකය

අකුරු කරවා සොඳින්
දුන් වදන් ඔවදන් එදින
ගල් කුළුණු හිස රැදුණු
පැරණි සෙල් ලිපි ලෙසින්
මතකයේ ඇඳී ඇත.

ජීවිතේ පළමු වර
මිතුරු කැල කවුරුදැයි
කියා දුන්නේ නුඹ ය.

මිතුරු සතුරන් වෙතියි
කුමාරෝදයේ කතා
කියා දුන්නේ නුඹ ය.

හවස් වරු පාසැලේ
වැඩ පටන් ගන්න පෙර
මල් පුදා තෙරුන් වැඳ
පස් පවින් වැලකෙන්න
කියා දුන්නේ නුඹ ය.

ගසින් වට පල ලෙසින්
විසිර ගිය මිතුරු කැල
කෑරගල, සිරිපාල
වරාගොඩ අරවින්ද
වෙසෙන තැන් දනී ඔබ.

සුනිල් ගී හඬ අසමි
පෙර මෙන්ම අදත් මම
දුර නිසා මිතුරු දම
කොළ හැළුණු ගසක් වෙද?

පංතියේ සබාවේ
ඉන්ද්‍රානී ගැයූ ගී
රාව පිළිරැව් නැගේ
මද පවන සේ සවස
තිසර නදියෙන් හමන.

සභාවේ මැදට වී
ලතා ගැයු මියුරු ගී
විහඟ හඬ හා මුසුව
කඳු මැදින් පිය නගයි.

නෙත් යොමා බලන කළ
මා පැමිණි මේ ගමන
ලෝක සිතුවමක රැදි
ඉන්දියන් සාගරේ
කඳුළු බිදුවක් වැන්න.

දිස්වේ ය, මැකෙන පහන් වැට සේ
අකුරු පොත් පිටු පිරුණු
මට ලැබුණු මහරු උපමා සදිසි.

Thursday, September 23, 2010

නව හදවත

සර්පයකු සේ මගේ හදවත
හැව දමා ඇත හදේ පිට හම

අතට ගන්නෙමි හැලූ පිට හම
පැනි ද තැවරුණු තුවාලය සේ වැසී ඇත එය

කුඩුවක් තුළ සදා රැක ගත් ඔබේ සිතුවිලි
කොහි තිබේ දැයි කියා දෙනු මැන

ජේසු සාමින් මෙන් ම සාතන්
සුවඳවත් කළ රෝස කුසුමන්
කොහි තිබේ දැයි කියා දෙනු මැන

මගේ ඇඟ කටු,
මැරුණු මළ මිනි සේ සැදූ කවි
රොමැන්ටික වූ අදිසි පේ‍්‍රමය
මගේ ඉපැරණි අහිංසක බව
සැඟ ව ගිය දින
ඔබේ ළාමක දැකුම් දුටුවෙමි

අඳුරු සිහිතල නිදන දෑසේ
නිහඬ ලෙස අද ගුලි ව නිදනා
මගේ මනසේ සැදූ කටු ගෙයි
බිත්තියක ඔබ ඇණ ගසන්න ට
සිතේ අද මට!

(ගාර්සියා ලෝර්කාගෙ කවි පෙළකින් උපුටා ගත් පැදි කිහිපයකි)