Thursday, April 14, 2022

 

පර්ත් නුවර අවුරුදු - 2022


ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා මනස
බැංකේසියා මල් පමණකි සිනාසෙන

අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත හිරු රැස් උදෑසන
අවුරුදු කොහි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහිදෝ දෝ උදෑසන

කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන

ඉර පායා ගණ කළුවර මැකේවි          දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි    දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි         දෝ
#GotaGoGamata අවුරුදු    ඇසේවි      දෝ 


(සුනිල් ගෝවින්නගේ) 

Tuesday, January 25, 2022

කුරුණෑගල

(උදේනි සහ අසෝකා සරත්චන්ද්‍ර යුවළට සහ නගරයේ දී මුණගැසුණු ආලෝක මිනිසුන් වෙනුවෙනි)

ඇතුගල උඩ මහ බුදු රුව
පවසයි දහමක් ලොවකට
සැඟවුණු උරුමය කැටි කොට
නැති වූ උරුමය මතු කොට

වෙළෙඳ හලකි නෙත හුරු වන
ඇසේ බස් ද හද සනසන
ආලෝකය හද රඳවන
මිතුරන් වැනි මිනිසුන් කැල

ළඳකි රුවැති ගරු බස් දෙන
හදවත් නවයක් සරසන
නගරය වෙස් ගෙන අලූතව
සඟවා රමණිය පැරණිය

විල් තෙර අසිරිය අරුමෙකි
මිය ගිය යුගයක් රඳවන
මඳ නල දුවමින් සනසයි
මහලුව ගිය ආඳාගල

නැති වූ මිතුරන් සමුවෙයි
කවි සඟවන විල් තෙර මැද
තුටු කඳුළක් දෙනෙත රැඳෙයි
නැති වූ ලෝකය සදමින

යා යුතු වෙයි මගෙ ගම රට
ගොළු මුහුදෙන් එතෙර රැඳුණු
මතක පොකුරු ගෙන යමි මම
යළි එන වග සිහිපත් කොට

(2007 දෙසැම්බර් මස 9)

 සිහිනයක්  

මා නිදියන කල මහ රැය 

ගණ කළුවර එයි අවදි ව 

ගොතමින් මිය යන සිහින ද 

රැළි සේ වෙරළක ගැවසෙන 

 

එක සිහිනෙක ඔබ සිටියා  

මිය ගිය මවගේ රුව ගෙන අ

සරණ වී මහ වනයක 

සුව දුක් සොයමින් මා ගැන 

 

කිම වන මැද ඔබ තනි වී 

අසන්නීය හිස පිරිමැද 

දරු දෙදෙනා දන් දුන්නේ 

මතු බුදුවන බව දැන දෝ 

විමසන්නී ඇය නිරතුරු

මහ වනයේ මා ළඟ සිට 

තනිකම පිසමින් මහ රැය 

 

වනයේ ගණ කළුවර මැද 

අප තනි වූ බව දැනගෙන  

ඔබ ගැන මව තතු නොඅසන  

කාරණය ද මට පැණයකි  


මම ද කඳුළු නෙත පුරවා 

දුක් මුසු ලෙස බැලිමි අහස 

වැහි පොද පැතිරෙත අප වට 

ගණ කළුවර වන පෙත මැද 

 

සිහින ලොවින් මා අවදිව 

බිය වී දුවනට සැරසෙමි 

වැහි පොද පිණි ලෙස ඇවිදියි 

මහ කළුවර රැළි වට කොට 

 

බිය අත හැර මා අවදිව 

බැලිමි අහස ලොව පැතිරුණු 

ඔබ විය අහසේ පාවෙන 

වළාකුලක් වී සිහිතල 

කඳුළු රොදින් මා සනසන 

මව රැඳි සිහිනය වට කොට  

 

සුනිල් ගෝවින්නගේ



Friday, June 29, 2018

එතෙර සිට සැප විමසූ මිතුරාට


මිනිසත් කම ද වියැකෙන දුරු රටක සිට
විමසනු කිම ද මා තතු බැඳ    කවියකට 

ඇත ලොව නොයෙක් විසිතුරු දේ කිවිඳාට
විමසනු කිම ද මා තතු නිහැඬිව   නොසිට

සොඳුරු දසුන් තිබුණ ද මේ නුහුරු රට
හද බස පෙළේ නිරතුරු කිවිඳුණි මෙරට

මව් බස අතැරි කවියෙකු වෙමි ලොබ  සැපට
දුක් සැප සොයා වෙහෙසෙනු කිම එතෙර සිට

ඇතිමුත් රුවක් හස නදියේ රැළි අතර
සුදු පැහැයෙන් බබලන රූපක  අතර

තිස් වසරක් ගත විය වැද මේ රටට
මා ලියු සිහල කවි දිය විය ගං දියට

දිය වුණු කවි අතර රූපක සොයා යන
මම වෙමි මහළු කවියා දුක් සැප විඳින

සුනිල් ගෝවින්නගේ

පර්ත් ගම

ජූනි 2018

Friday, January 8, 2016

සරා සිහින - තුෂාර එල්. ජයවීර

හිසේ පැලඳි කෙහෙ ගොමු සිරිපාද ලිහා
එලා පිටට මහවැලි දිය ගඟුල තියා
සරැළි රඟන අක්බඹ කෙහෙරැල්ල පිහා
තාල තියමි සුරතට ගෙන කියඹු ලියා

කපා කොටට දෑතේ දස ඇඟිලි නියා
ගෙලේ පැලඳි මුතුපොට කිරි පබළු ලිහා
එලා සුමුදු ලමැදත රන් පියුම තියා
නිවමි සියුමැලිව පිරිමැද ගින්න නුරා

දෑල දෙඅත රන් බඳ රන් දිලෙන ශ්‍රියා
සුවෙන් පිරිමදිමි ඉවසුම් හැඟුම් තියා
බාල චන්ඳ්‍ර පටු නළලත දෙතොල් තියා
තඹර සුවය තවරමි සුසුමකින් වියා

නීල නුවන් මිණිසල් යුග සෙමින් පියා
හීනි දිගටි දෙබැමම රැලි නගන ශ්‍රියා
වෙලා එකට රන්දම් රන් පාද තියා
බලා හිඳිමි නුරා හැඟුම් මවන දිහා

සරා සිහින කැලතුණු හද පවුරු ලිහා
නිදා නොනිද වැතිරෙමි සිරි යහන පිහා
උනා පැලඳි මිහිදුම් සළු සේද ලිහා
කෝල නොවී වඩින්න සඳ ලියනි ශ්‍රියා
තුෂාර එල්. ජයවීර

Sunday, August 2, 2015

මතක සොඳුරිය


නිදි සරණ වරම් නැති තවත් මහ දිගු රැයකි
මතක සැමරුම් අතර ඔබ සොයා යන රැයකි
සිහින ලොව මාවතේ ඔබ නොමැති තව රැයකි
ඔබ එතෙර ගිය පුවත මට කියන දිගු රැයකි.

නොමැත ඉසි කෝමාන මගේ හදවත පැතිරි
සෝත ළතැවිලි පමණි මතක මඟ පැතිර ගිය
ජාති කුළ ගොත් අතර බැඳුණු පෙම් පුවත් මැද
අපේ පෙම් පුවත මා කෙලෙස ලොව තබන්න ද?

අපේ සරසවි පුවත මතක මාවතේ ඇත
අප තැබූ පා ලකූණු කාලයේ රැඳී ඇත
උදෑසන හිරු ලෙසින ඔබේ වත මැකී නැත
මගේ හදවත පිරුණු පෙම් වදන් මැකී නැත

නිදි සරණ වරම් නැති තවත් මහ දිගු රැයකි
මතක සැමරුම් අතර ඔබ සොයා යන රැයකි
සිහින ලොව මාවතේ ඔබ නොමැති තව රැයකි
ඔබ එතෙර රැඳුණු බව මට කියන දිගු රැයකි

තිසර නදිය ද ගලයි ඔබ නොමැති වග කියා
රජ උයන ඉකි ගසයි ඔබ වුවන ගැන කියා
එහෙත් තව මල් පිපේ ඔබේ වුවන ද සදා
මගේ හදවත පිරුණු පෙම් පුවත ගැන කියා

පිරුණු සඳ ලොව පැතිර ඇත මෙදින අහස් ගැබ
ඔබේ වත සදිසි වග කියා මට නිහඬ ලෙස
නොමැති කල ඔබ පුවත් වසර ගෙවුණ ද මෙදින
සඳ මතින් ඔබ දකිනු ඇත මගේ කඳුළු රැස.

සුනිල් ගෝවින්නගේ

(2015 අගෝස්තු 1 දින)

(සරසවියේ මට සමු වූ මිතුරකු කියූ පුවතක් අසා කම්පාවට පත් ව මා ලියූ මේ කවිය ඉන්දුනීසියානු බසට පරිවර්තනය කොට ඇත.)

Saturday, June 20, 2015

සමු ගැනීම


තනිකම දිවියේ මාවත වූ දින
මා වට ගණඳුර මකමින්
අරුනළු රැඳි අහස් කුස ය
පෙර දින ඔබ සොඳුරිය මට

පේ‍්‍රමයෙ ගීතය වූයේ ඔබ ම ය
මිය ගිය පෙර දින සොඳුරු සිනා දී
පේ‍්‍රමයේ අරුත ද සැඟ වූ යේ ඔබ
හදවත පාරා ගොදුරක් කොට මා

මහ වනයක මා අසරණ වූ දින
නොකියා ගිය කල සුවඳක් සොයමින්
මල් දහසක් ඇති උයනක් දැක ඔබ
එමල් ද පර වී යන බව නොදැනම

වියැකුණු සෙනෙහස සොයමින් පාවෙන
මඳ නල වෙමි මම ඉකි බිඳමින් යන
ඔබ වෙයි දුර අහසේ  පුර හඳ
මකමින් ගණඳුර මා වට පැතිරෙන

කුමුදු මලක් සේ ඔබ වෙත බලමින්
හෙට උදයේ සමු ගන්නෙමි නිසැකව
තවරා මා හද සෙනෙහස පැහසර
දුර අහසක ඔබ සැඟ වී යන කල

21 ජූනි 2015 දින