Saturday, November 14, 2009

දෙගිඩියාව

හඬ සියල්ලම නැවති මෙහොතක
හෙමින් එන්නෙමි වේදිකාවට
වේදිකාවේ දොරට පිට දී
දුරින් එන හඬ දරා ගන්නට තැත් කරන්නෙමි
ජීවිතේ මට සදා ඇත්තේ
කුමක්දැයි මම පැන අසන්නෙමි.

රැයේ කළුවර මගේ නෙත් වෙත ගලා එයි නිති
ඔපෙර කන්නඩි මවෙත යොමු වේ
මගේ දෙවියනි හැකි ද ඔබ හට
උරුම වූ රඟ ඉවත් කරනට

මම කැමැත්තෙමි ලැබූ රැඟුමට
නාටකය ඔබ දරඬුය මට
වෙනත් රැඟුමකි එහි රඟන්නේ
එරඟ නැත අද රුචිය මා හට

සියලු රංගන ලියා ඇත මට
නියෝගයකි ලැබුණු මා හට
ගමන කෙළවර නැත සදා තව
මා අයෙකු වේ ලොවෙහි තනි වූ

කුහකවතමය ලොවක පැතුරුණු
තණ පිටියකින් ඉවත යන ලෙස
නොහැක දිවි මග පා තබන්නට


(රුසියානු මහා කවියකු වූ බොරිස් පැස්ටනැක්ගේ කවියක අනුවාදයකි)

Friday, November 6, 2009

මැකී ගිය මිතුරකුට ලියූ කවියක්

ඇසූ කල ඔබ එදින
මගේ දැඩි නිහඬ
ලියූවෙමි සුළු කවක්
අරුත් නැති වැකි සමග

බොහෝ වර සිතූමුත්
අසන්නට තතු ඔබේ
කාල පරතරය විය
අප වෙසෙන නගර මැද

කථා කළ‘මුත් මෙදින
ඇසූයේ වදන්ම ය
පියකු හද දවාලන
පුතු නොදත් පොත් ගැන ද

කරන්නට වැඩ පොළේ
ඇතත් නෙක වැඩ බොහොම
සිත් නොදෙන බව කියයි
දනිමි ඔබ සිත් රාව

ජීවිතය අරුමයකි උදෑසන පිණි විලස
කිම ශෝක වනු මෙදින බස් නොදී කවියනට
ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව


(2009 ජූනි 23)

Friday, October 16, 2009

කවුළු පියන්පත් අරින්න

මරීයා,
ඔබෙ නිවස වට රැඳුණු
අඳුරු කැටි ඉවතලා
හිරු එළිය වැටෙන්නට
කවුළු පත් අරිනු මැන

මරීයා,
නෙත් යොමා බලනු මැන
බැඳී නැත අපේ දිවි
දුකෙන් පිරි අඳුරු සෙවනැලි සමග

මරීයා,
ඉපදීම,වැඩෙන්නට
ආදරය කරන්නට
සැනසුමක් සොයන්නට
පමණක් ද දිවි පුවත

මරීයා,
ජීවිතේ කුරිරු දින මැකී ඇත
ඔබේ නෙත් හිරු රැසින් පිරී ඇත
පුරා ගනු කිරි පැනින් දෑත් ඔබ

ඔබේ වත සිනා රැළි
ගෙමිදුලේ උල් පතක
දිය ලෙසින් පිරී ඇත

(චිලී ජාතික වික්ටර් හාරාගේ ගීයක් ඇසුරෙනි)

මෙම කවිය ගීයක සේ අසන්න:-

Abre La Ventana - Víctor Jara



http://www.youtube.com/watch?v=8Qazjdrx7Ks&feature=related

Friday, October 9, 2009

ඔසී ජන කවියක්

මල් පිපුණේ හිරු නැති දින සීතලට යි
හිරු නැඟුණේ රැය මැදියම සඳ මැරිල යි
නියෙඟට වියැකුණේ අප ගේ පෙම් අරණ යි
සමකේ පිපිණු හිරු මැරුණේ අප සමග යි

ගොළු මුහුදත් තරණය කොට පැමිණි රට
සුදු තිසරුන් කළු පැහැ ගත් සොඳුරු රට
දරුවන් අපේ සොරකම් කළ අරුම රට
පෙර පින් බලෙන් අප පණ රැකි සොඳුරු රට

දිය නැති වුවත් උගුරේ දිය බිඳු රන් දා
දරු නැති වුවත් උන් ගේ පන කෙඳි රන් දා
බත් නැති වුවත් කුස යේ අහරක් රන් දා
බස නැති වුවත් අප හද තුළ මන බන් දා

ගන රන් ලෙසින් මේ රට රුව සෑදීයන්
නිල් මල් ලෙසින් මේ රට ගං පෑදීයන්
නියඟක් නැතු ව මේ රට කෙත් පෑදීයන්
දරු නැති වුවත් සුව යහනක් සෑදීයන්

මෙම කවිය ගීයක සේ අසන්න:-

තනුව සංගීතය සහ ගායනය - කෝලිත භානු දිසානායක


http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=Lyrics&s=A0730005C03

Friday, October 2, 2009

කළු කවියෙකි සුදු ජය බිම!

අඳුරු වෙලා ඉර මැකිලා
අළු පැහැ ගත් සැන්දෑවක
ගොංමං එළියත් අරගෙන
මං යනවා හනි හනිකට
කෝච්චියක් අල්ල ගන්න
ජුන්ඩලප් හි ගෙදර යන්න

ලයිට් කනු ද වෙර ගනිද්දි
ගොංමං කළු එළවන්නට
අඳුරට මුසු වීදි කොනක
පා තැබුවෙමි හනි හනිකට

තිසර නදිය කළු පැහැගෙන
සඟවන කල කළු තිසරුන්
ගොංමං කළුවර කැටි වෙයි
ලයිට්වලින් එළිය නොදැක

පර්ත් නුවර වීදියකින්
මතුවෙයි කළු මල්ලිවරුන්
මතුවෙයි කළු නංගිවරුන්
මා දැක උන් සිනා නඟයි
ගුඞ් ඬේ යැයි මට පවසයි
නුපුරුදු බස් උන් දොඩවයි

‘අනාගතය කැටි කරවන
පැතුම් රැසක් හද බැඳ ගත්
කළු දරුවන් රැසක් නොවෙ ද
සුදු රටකට සපැමිණි උන්’

සිතමින් මම පය නැඟුවෙමි
මා යන මඟ සොයා යළිත්

දුම්රිය පොළ අසල ගැවසි
ආදි වාසයෙකි අසරණ
ඉල්ලයි ඔහු ඩොලර් එකක්

මම හනිකට පා නැඟුවෙමි
අල්ලන්නට ඊ-දුම්රිය
අසුනක් ලැබ
සිංහල කවියක් බලමින්
ඈත නුහුරු රටක සුවඳ
අල්ලන්නට බලනා සඳ
මගේ සිතේ සිතුවිලි මැද
කළු පැහැ ගත් රූපක ඇත
ගොංමං කළුවර පැහැ ගත්

ඇයි නොදුන්නෙ ඩොලර් එකක්
ආදි වාසියා අල්ලට
ඇයි නොකියා පා තැබුවේ
එක වදනක් හෝ නොදොඩා?

ඩොලර් එකක් ඉල්ලුවෙ නුඹ
අද හවසට තව බොන්න ද?
ඩොලර් එකට වෝට බොටල්
එකක් පවා නොලැබෙන රට!

සුදු වු මෙරට අඳුරු පුවත්
කළුවන් කළු මල්ලිලාට
කළුවන් කළු නංගිලාට
නොකී වදන් ඉකි බිඳීවි

අසරණ වී සරණාගත
මිනිසුන් සේ ආපු රට ද?

ඩොලර සොයා මා මෙන්
සුදු ජය බිම වෙත ආ ගමන ද?
දෙමාපියන් අල්ලට සුදු කාසි හිඟා
දැනුම සොයන්නට එව්ව ද
සුදුවන් සුදු ජය බිමකට?

පැණ විසඳන නුවණ ඇතැයි
සිතා මවෙත වදන් ගසන
මතක දිවයිනේ කවියෙනි
මා විසඳන පැණ නැත ලොව
කළු කවියෙකි සුදු ජය බිම!

Wednesday, September 30, 2009

පරාක‍්‍රමට පිළිතුරක්

බස ලැබ නැත
හද හඬ මිස
රිද්මය එය වෙයි සුමිතුර
මා ලියනා කවි පද මැද

කඩනු කෙලෙස රිද්මය හද
ලියනා කල සුළු කවි පද
වියැකෙන කල මා ගත අද
රැඳේ රිද්ම මා හදවත

ලියනා කවි නැත මනහර
වේ ය එකවි මා හද හඬ
එහි ගැවසෙන දුක නිබඳව
නසන ඔසු ය කවි රිද්මය

නැත මා කවි ගෙනෙන දැක්ම
ඔබ ගැවසෙන කවි පියසට
හදේ රිද්ම කඩා නිබඳ
කෙලෙස ලියනු නොමැති දස්න!

සිහල බසක් නොමැති රටක
කෙලෙස සදනු දැනුම එබස
ලියනාමුත් සිහල බසින
ලියනා කවි නොමැත පළව!

නොමැත ලැබූ දැනුම සබඳ
ගැවසෙනු මිස නිබඳ මෙතෙර
රිද්ම රඳා මා හදවත
ලියනු කවි ද නොදකින ඔබ!

නොමැත ලැබූ දැකුම සබඳ
රිද්ම මිසක මා ගැවසෙන
මා විසඳන පැණ නැත ලොව
මම කවියෙකි නැණ සැර නැති

Monday, September 28, 2009

පරාක‍්‍රමගෙන් ඔවදනක්

බස ලැබ ඔබ ලියනා කවි
අසමි හදේ රිද්ම අතර
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම

මත් දහයේ විරිත් අතර
ඔබ සිරවී සිටිනු දකිමි
එහෙත් රිද්ම කඩා නිතර
ලිවිය යුතු ය ඔබේ දැක්ම

එතෙර ඔබේ ලැබූ දැක්ම
සිහල බසට දමා දැනුම
ඇතැයි සිතේ අසනා කල
ඔබ ලියනා කවි පද මැද

මෙතෙර අපේ කවි පද හඬ
වහා තවත් ලොවකට බැඳ
ලියනු නිතර සදා නිබඳ
කඩා ඔබේ රිද්ම සබඳ

දකින දැක්ම ලබා අතට
පැණ විසඳන නුවණ ද ගෙන
සිහල බසට දි දී දැනුම
ලිවිය යුතු ය ඔබේ දැක්ම

(2009 මැයි මස 1)