Wednesday, January 12, 2011

පර්ත් නුවර පායයි සඳ!

මම කවියෙකි සයුරු ඉමක
ලෝ සත දුක හැම වළඳන!

දුක් නිමවන මඟක් කියා
පර්ත් නුවර පායයි සඳ!

හද රැඳ වූ දුක කියමින
ගම සිහි කොට මතක රටක!

http://www.youtube.com/watch?v=9UQ_AJquspk

Friday, December 31, 2010

මිනිසත් කම හද රඳවන ඔබ කවියෙකි මතකය මැද

(අසංක නිරෝෂා කවියාට)
මාමා යැයි මා අමතන
කවියෙකු නැත මේ තෙදියත
ඔබ පමණය කවියෙකු මට
නෑකම් කවියට අමුණන

දසකය මතු වූ දිනයක
ගොළු මුහුදේ සුවඳ ලෙසින
ඔබ මතකය මතුවන කල
ලියමි මෙකව ඔබ අමතන

කවියන් අද විරල ය ලොව
ඔවුන් දෙඅත නැත අවි බල
එනමුත් කවියන් හද තුළ
මිනිසත්කම වේ රූපක

කවියන් මතු වූ කැලයක
රැඳෙනා‘මුත් ඔබ නිබඳව
ඔබ මිනිසෙකි කවි හඳුනන
කවි මනසින් හද සුරකින

නොලියන‘මුත් හෙළ කවි අද
මිය යන මතකය රඳවන
මා ලියනා කවි බස් මැද
මතුවෙයි ඔබ කවියෙකු ලෙස
මිනිසත්කම හද රඳවන

(2011 ජනවාරි 1)

Thursday, September 30, 2010

ඔපෙරාව බලන්නට නොඑමි

ගොළු මුහුද එතෙර වුව ඇසෙයි මට දුක් රාව
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව නොවේ ඔබෙ ඔපෙරාව

කුරිරු යුද රැස් වැදී දැවී ගිය ලංකාව
නිවන ජල කඳක් වෙද ඔබ ලියූ ඔපෙරාව?

යුදට ගොස් දිවි මැකුණු
එකම පුත් සොහොන මත
ඇඬූ මා පියන් කැල මකා හද කම්පාව
නිවන්නට හැකිවේ ද ලියූ ඒ ඔපෙරාව?

සුතනඹුන් හැර දමා මරා හද රැඳි බිය ද
නුහුරු අවියක් රැගෙන කුරිරු යුද බිමට ගිය
අපේ රණ විරුවන්ට ඇසේ වි ද ඔපෙරාව?

ගොළු මුහුද වියරු වී මැකූ දින ගම් දනව්
මා පියන් අහිමි වූ දරු කැලට
සැනසුමක් ගෙන දේ ද ඔබ ලියූ ඔපෙරාව?

බෙහෙත් උගුරක් නැතුව
රෝහලේ අගු පිළක
වැටී දුක් කඳුළු ගත්
ඔබේ රට වැසියන්ට ඇසේ වි ද ඔපෙරාව?

ගොළු මුහුද එතෙර වු ව දකිමි මම කුරිරු රළ
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව මට එපා ඔපෙරාව!

Friday, September 24, 2010

වරාගොඩ ධර්මාලෝකය

අකුරු කරවා සොඳින්
දුන් වදන් ඔවදන් එදින
ගල් කුළුණු හිස රැදුණු
පැරණි සෙල් ලිපි ලෙසින්
මතකයේ ඇඳී ඇත.

ජීවිතේ පළමු වර
මිතුරු කැල කවුරුදැයි
කියා දුන්නේ නුඹ ය.

මිතුරු සතුරන් වෙතියි
කුමාරෝදයේ කතා
කියා දුන්නේ නුඹ ය.

හවස් වරු පාසැලේ
වැඩ පටන් ගන්න පෙර
මල් පුදා තෙරුන් වැඳ
පස් පවින් වැලකෙන්න
කියා දුන්නේ නුඹ ය.

ගසින් වට පල ලෙසින්
විසිර ගිය මිතුරු කැල
කෑරගල, සිරිපාල
වරාගොඩ අරවින්ද
වෙසෙන තැන් දනී ඔබ.

සුනිල් ගී හඬ අසමි
පෙර මෙන්ම අදත් මම
දුර නිසා මිතුරු දම
කොළ හැළුණු ගසක් වෙද?

පංතියේ සබාවේ
ඉන්ද්‍රානී ගැයූ ගී
රාව පිළිරැව් නැගේ
මද පවන සේ සවස
තිසර නදියෙන් හමන.

සභාවේ මැදට වී
ලතා ගැයු මියුරු ගී
විහඟ හඬ හා මුසුව
කඳු මැදින් පිය නගයි.

නෙත් යොමා බලන කළ
මා පැමිණි මේ ගමන
ලෝක සිතුවමක රැදි
ඉන්දියන් සාගරේ
කඳුළු බිදුවක් වැන්න.

දිස්වේ ය, මැකෙන පහන් වැට සේ
අකුරු පොත් පිටු පිරුණු
මට ලැබුණු මහරු උපමා සදිසි.

Thursday, September 23, 2010

නව හදවත

සර්පයකු සේ මගේ හදවත
හැව දමා ඇත හදේ පිට හම

අතට ගන්නෙමි හැලූ පිට හම
පැනි ද තැවරුණු තුවාලය සේ වැසී ඇත එය

කුඩුවක් තුළ සදා රැක ගත් ඔබේ සිතුවිලි
කොහි තිබේ දැයි කියා දෙනු මැන

ජේසු සාමින් මෙන් ම සාතන්
සුවඳවත් කළ රෝස කුසුමන්
කොහි තිබේ දැයි කියා දෙනු මැන

මගේ ඇඟ කටු,
මැරුණු මළ මිනි සේ සැදූ කවි
රොමැන්ටික වූ අදිසි පේ‍්‍රමය
මගේ ඉපැරණි අහිංසක බව
සැඟ ව ගිය දින
ඔබේ ළාමක දැකුම් දුටුවෙමි

අඳුරු සිහිතල නිදන දෑසේ
නිහඬ ලෙස අද ගුලි ව නිදනා
මගේ මනසේ සැදූ කටු ගෙයි
බිත්තියක ඔබ ඇණ ගසන්න ට
සිතේ අද මට!

(ගාර්සියා ලෝර්කාගෙ කවි පෙළකින් උපුටා ගත් පැදි කිහිපයකි)

Thursday, June 10, 2010

The Magic of the World

Sri Lankan police have rounded up hundreds of young lovers for kissing in public following complaints that the overt displays of affection caused embarrassment to others, an official said Thursday. COLOMBO (An Extract from AFP news report) -

What an honourable act by the Sri Lankan Police
Rounding up hundreds of young lovers kissing in public!


Having assisted the Government to squash
The world worst terrorist group
The Police force don't want be an idle group
And continue to act in good faith to keep the country in line.

What an honourable act by the Sri Lankan Police
Rounding up hundreds of young lovers kissing in public!

Should the young lovers feel disheartned?
Should they feel betrayed?
Should they feel unpatriotic?
Should they take a boat ride to Australia?

The young lovers should understand the Government Policy
They only trying to creat a magnificent country in Asia
And show our magic to the World

The police will act in good faith
And show our magic to the World!

Saturday, May 22, 2010

එතර සිට කරන ඉල්ලීමකි

ලියන්නේ කවි කුමට මතක සඟවන රටට
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන

දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද

දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ


2101 මැයි 20