Monday, August 31, 2009

ආයාචනයක්

විසූ කල රට නිවස උණුසුම ගත රඳවමිනේ
සිහිතල ලොව මා වට ඇත අත් පා මා වෙවිලන්නේ
උණුසුම සොයමින් සිටි දින හිමිදිරි යේ සුව අරණේ
ඔබ රුව දුටුවෙමි පුතුනේ ගං දිය මැද වන අරණේ

මුදවා නුඹ යුදයෙන් අප සරණක් දුන් පෙර දිනයේ
සතුටක් නුඹ සිත ගැවසුණු පුවතකි මා අද දන්නේ
කිම නුඹ අද ගංවතුරක තනියම අද හිමිදිරියේ
මුදවා ගෙන ආ සරණය කෙළෙස අද දියවන්නේ

රැක ගෙන මරු යුදයෙන් පෙර මා දරුවන් මෙහි රැකුණේ
ඒ සැනසුම දිය විය අද දැකුමෙන් නුඹ රුව පුතුනේ
ඇයි නුඹ කිම හිමිදිරියේ තනියම අද ලතවන්නේ
බස නොලැබී ලද පාපය ලැබුවෙද මා පුතනුවනේ

දැය රකිනා නිරිඳුනි කිම ඔබ නෙත් යුග අද වැසුනේ
තෙරුවන් වැඳ නෙත් බැබලූ හදවත කිම නොම සැලුණේ
අරලිය රැඳි මහ මැදුරක දිවි පෙත ඔබ බැබලෙන්නේ
මැතිඳුණි කිම සිරකර අද අප දරුවන් වන අරණේ

කුමන මා පියන් ගුණ රුව ලැබුණේ ද
කුමන බසක් නුඹ මුව හෙට රඳනේ ද
අමන පැන කුමට අප දරුවන් නොවෙ ද
කුමන පවට තිසරණ නෙත් වැසුණේ ද


(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවෙදය පිණිස ලියූ කවියකි)

රෝගී වූ මිතුරකුට ලියූ කවියක්

තුරුණු විය පලා ගොස් සැඟව අපටත් හොරා
ගෙවී ඇති‘මුත් දවස් වසර ගණනින් සදා
මිතුරුකම් රැඳී ඇත ගල් ටැඹක අකුරු සේ
මවා අප කළ කතා මැකෙන මතකය මරා

අසනීප වී ඔබත් රෝග පුටුවක් සදා
සිටින වග දැන්වීය ඔබේ සොයුරා එදා
පැමිණි දින මේ රටට නිවාඩුව ලැබ සොඳා
මගේ හද හැඬුවේය මිතුරු සුවයක් පතා

ජීවිතේ මං පෙතේ අප සෙමෙන් දුවන විට
අට දහම අතර මැද රෝග දුක් රැඳෙනු ඇත
ඔබ තවත් දිවි මගේ ඇවිදීම නිසැකම ය
මගේ ආයුස පවා කෙටිය අද එවන්නට


(ජූලි 2009)

Sunday, August 30, 2009

මරණය සෙවනැල්ලක් වී මා වටා පැදකුණු කරයි

මරණය සෙවනැල්ලක් වී
මා වට පැදකුණු කරයි
කළු දත් විලිස්සා
මට සරදම් කරයි

නොලියු කවි පද
තණ අග පිනි වෙත
නොලැබු සෙනෙහස
කාන්දු වෙයි
හිල් වූ ජීවිත බදුනෙන්

වියැකී යන දෙනෙතින් දකිමි මම
ජීවිතයේ බොඳ වූ සිහිනය
මරණය සෙවනැල්ලක් වී
මා වටා පැදකුණු කරයි

අවසාන පැය රැගෙන මරණය එයි
පැරණි ණයකරුවකු සේ
දිවියේ නිති දහම ඔබයි
සුගත් හිමි දහම් මනසේ වපුරමින්
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්

මරණය සෙවනැල්ලක් වී
කළු දත් විලිස්සා
මා අඹා එද්දී
මම නොසැලෙමි
පිදුරුතලාගල කන්ද ලෙසින්

(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)

පරාවර්තනය

නොතින් ආසා පිරුණු
තරුණ හද පෙරටු කොට
මැකෙන දිවි මං පෙතේ
විරාමය සොයමි මම

සුළඟ කෙඳිරිය නගයි
කරයි පැමිණිලි නිතර
උරණ වී අහස් කුස
ලතවේ ය අසරණව

ජනේලෙන් මා දකින
ඈත තනි සිතිජයේ
ගිරිකුළු ද වනපෙත් ද
නිවෙස් මෙන් අසරණ ය.

පයින් ගස් අතු නමා
දුකින් බර වී හඬයි
ලොව දුකින් වැලපේය
විහඟ ගී හඬ මරා

මහළු වූ අහස් කුස
දුබල නෙත් විවර කොට
විමතියෙන් බලන සඳ
කණ්ණාඩියේ මැවෙන
මහළු වත දකිමි මම.

(මතක දිවයින කාව්‍ය සංග‍්‍රහයෙනි)

Saturday, August 29, 2009

පියාඹමි දස දෙස

රටින් රට සැරි සරන
ගුවන් ගැබ සරා යන
කුරුල්ලකු ලෙසින් මම
පියාඹමි රටින් රට
අතැර මා ජය බිම ද
සුතනඹුන් හා නිවෙස

මතක දිවයින ගැන ද
පඬිවරුන් ලියූ පොත්
ගැන ද බස් දොඩවමින්
ගුවන් ගැබ සරා යන
කුරුල්ලෙකි මෙදින මම

විසල් තුඟු මැඳුරුවල
දිවි රකින මිතුරු කැල
බලා නෙත් අයාගෙන
රටින් රට සැරි සරමි

දකුණු කුරු දූපතේ
කුරුළු නිවසක රැඳුණු
මට මහත් අරුමයකි
මිතුරු මිතුරියන් රැඳි
තුඟු විසල් මැඳුරු රැස

ගුවන් ගැබ සරන සඳ
ගිනි පෙට්ටි රැසක් බඳු
තුඟු විසල් මැඳුරු රැස
දකින සඳ නොයෙක් විට
නැගේ පැනයක් මසිත

කිම ද මා මිතුරු කැළ
වෙසෙන්නේ මැඳුරුවල
ගුවන් ගැබ සරා යන
කුරුල්ලන් නොවන්නෙද?
කිම ද නොදනිමි තවම

උදෑසන පිටත් වී
සවස් කල යළිත් එන
ගමන් මඟ ගොසින් ඇත
නොදත්තෙමි අරුත් රැස
විසූ දින මැඳුරු මැද

ජීවිතේ අරුත් රැස
සොයන්නට ලියනු මැන
කවි පෙළක් හද ඇඳෙන
සොයා දිවි අරුත් දැන
මකා දුක හද රැඳෙන

(ලොස් ඇන්ජලීස්, 2007 අප‍්‍රියෙල් 7)

Friday, August 28, 2009

මයිකල් ජැක්සන්ගේ මරණය

ඔබ ගැයූ ගී මෙන්ම
අසා ඇත්තෙමි
ඔබ ගැන ද බොහෝ දේ
ජලය මෙන් මහ සයුර

කළු කොලූවකුව සිටි කාලයේ සිට
අසා ඇත්තෙමි බොහෝ දේ
ඔබ ගැන ද
සුළඟ සේ පැතිර ගිය

බාල කල රුව දුටූ විට වරක්
මාර්ක් ට්වේන් මැවූ
කළු චරිතයක් යැයි සිතිණ මට

පියාගෙන් අතවර ලබා
ළමා විය වියැකුණ ද
පිපිණ ඔබ
වසන්තේ මලක් සේ

සඳ තරණය කරන්නට නොහැකිවුව
කළ අයුරු සඳ ගමන පොළෝ මත
තිබෙනු ඇත මතකයේ
අප යළිත් මුණ ගැසෙනතුරු සසර

නැති වුව ද වෙසෙන්නට
නෙවලෑන්ඞ් වැනි මැදුර
මම ද ඉඳි කළෙමි මෙහි
කුඩා නිවසක් අපට
කුඩා කඳු ගැටය මත
නැති වුවත් එහි අගය

මා ලියූ කවි කුමට
අරුත් නැත එහි දැවටි

මගේ කවි සේ නොවේ
ඔබ ගැයූ ගී නිබඳ
සරනු ඇත ලෝ ගැබම
ඉර හඳ ද මැරෙන තුරු
කුමට තව පරි කථා

මළ පුවත ඔබ අසා
කිම ද කම්පා වූයෙ
වින්ටරේ උදෑසන
ජීවිතය තණ පතක
දිය බිඳක් බව දැන දැනම!

Thursday, August 27, 2009

ආපසු ගමන

අඳුර මැකෙන විට මැදියම
මම එමි අරුණළු අතරෙන්
විහඟ හඬට කන් දෙන්නට
සතුරු මිතුරු හමුවන්නට

මැරුණු සැමරු වෙයි මතකය
නැත ලොව ගැන කිසිම වගක්
දුක් ගීයක තනුව රැඳුණු
මියුරු සුරල් මිය යන සඳ

එතෙර සසර දුක් නිවනා
තුටු ගීයක් හද රැඳේ ද?
රුදුරු වහස් බස් සඟවන
සතුරු මිතුරු හමු වේවි ද?

මගෙ ලොව හෙමි හිට දියවෙයි
සතුටු කඳුළු නෙතඟ මැවෙයි
මා හද රැඳි ගණඳුර මෙන්
අඳුර ද හෙමිහිට වියැකෙයි



(2005)