Thursday, April 19, 2012

පැනයක්

කාලය ඇත මරණට සිත තුටු ලෙස
කිසිවක් නැත සිත කිඳා බසින්නට
ඇති’මුත් මිනිසුන් අපමණ මා වට
මිතුරන් වෙද මා සිත ගැන දොඩනට?

බිඳි වර පට මෙන් කාලය ගිලිහෙත
කිසිවක් නැත සිත කිඳා බසින්නට
ඇති’මුත් ආසා කඳු මුදුනක් ලෙස
නැත යන්නට ආසා මා සිත අද

පැන ඇත අපමණ ගැන සිත යන්නට
එනමුත් නැත සිත විසඳන පැණ නෙක
ගිළිහෙන කාලය පමණය මා වට
එනමුත් ලතැවෙන සිත නැත මා හද

කිම කාලය ගැන මා ලතවන්නේ
සතුටු සිනා නොවැ ළඟ ගැවසෙන්නේ
ගිළිහෙන කාලය ගැන සිත නොයවා
සතුටු සිනා මැද ඇයි නොගිලෙන්නේ

(2012 අප‍්‍රියෙල් 19)

Tuesday, March 20, 2012

විශාද කවි - 1

හැකි’මුත් රැය අඳුර මකන
බලය උදේ හිරු එළියට
නැත මට කිසි බලයත් අද
මා වට ඇති අඳුර මකන

දවස් ගෙවී දින වියැකෙයි
උදයට එයි හිරු අවදිව
මා කිම අද අඳුරක් මැද
දිලෙනා කල හිරු අහසේ?

ගිලෙනා කල දිවි පතුලේ
ජීවිතයේ මඩ තැවරී
කවි පහුරක් සොයමින් මම
පිහිනමි ඉහළට ජලයේ
සොයමික් නැති වූ දිවයින

නැති වූ මිතුරන් සමුවේ
සමු ගන්නා විට අවරට
එනමුත් වත හසරැළි නැත
දියවේ සයුරක නිහඬව

ලිය යුතු කවි පද ඇති’මුත්
නිම නැති මෙහෙවර ලෙස අද
ගිලෙනා කල දිවි පතුලේ
ලියනා බස දියවේ සයුරක නිහඬව

(2012 පෙබරවාරි)

Sunday, November 20, 2011

කොග්ගල දී

(මාටින් වික්රමසිංහ වියතා සිහි කරමින් ලියූ කවියකි)

ඔබේ රුව නැත වෙරළ
අසල මහ හෝටලය
පමණි මා නෙත ගැටෙන
වැසි රවන දහවලක
රුසියානු දනන් මැද
මම සිටිමි වෙරළ බඩ අසරණව

සැදූ ගම්පෙරලි රුව
තිබේ මා අවට අද
මැකුණු රුව පමණි මට
කිම වෙරළ නුහුරු මට

වෙරළ සොඳුරුය කදිම
වැසි වැටෙනමු‘ත් අවට
එහෙත් කිම මා තනිව
වෙරළ බඩ ඔබ නැතිව

යා යුතුය මා හනික
සොයා ඔබ වදන් පොත
නොදැන මා තතු සොයන
කවි බසක රුව සදන

කොග්ගල 2011-11-19

Saturday, October 8, 2011

මගේ මරණය අරුමයක් වෙද

මගේ මරණය අරුමයක් වෙද
උපන් දින සිට දැනුණු සිහිතල
මගේ පිටු පස රැඳුණු සෙවනැලි
අතර සැඟවුණු සොඳුරු සුමිතුර

තුරුණු විය මට සතුරු වූ ඔහු
කිම ද සුමිතුරු වී මෙදා සොඳ
මගේ ගෙය වට රැඳුණු සෙවනැලි
අතර සැඟවුණු සොඳුරු සුමිතුර

මෙගම මැද රැඳි සොඳුරු කෙත් වතු
වසන්තය මට පුදන වන මල්
රැගෙන යන ඔහු නොවේ සතුරකු
ජීවිතේ නෙක සුවඳ මට දුන්
සබඳ ඔහු විය සොඳුරු පියකරු

මගේ කවියක රැඳුණු රූපක
අතර සැඟවුණු සොඳුරු සුමිතුර
කියා දී මට දිවියෙ උරුමය
සබඳ ඔහුමය සොඳුරු පියකරු

Monday, May 23, 2011

ගෙදර ආ දියණියට ලියූ කවිය

බොහෝ කලකට පසු ව ඔබ පැමිණ ඇත ගෙදර
සොඳුරු මල් මිටක් ගෙන මව් දිනය සමරන්න

සෝක උවනක් සදා නිහඬ ඔබ දුටු කලට
මතකයට නැගෙන්නේ ළදරු කිරි දරුවෙක් ය

මැරෙන‘මුත් හැම මතක කාලයේ සැඟ ව ගොස්
ඔබෙ ළමා විය තවම මතකයේ ගල් කුලකි

දසක දෙක නිමා වන කාලය ද පැමිණි‘මුත්
ඔබ සොඳුරු යුවතියක බව මගේ සිත කියයි

වසර නෙක ගෙවී ගොස් කාලයේ සැඟවුණ ද
කිම ද කිරි දරු සුවඳ හමන්නේ නුඹ ගතින්?

වාඩි වී මේසයට බත් මාළු කන අතර
බාල විය බත් කටක් කවන්නට දැරූ දිරි සිහි කරමි

මව් දිනය ගෙවී යයි රැය ළඟා වෙයි සතුරු
හදිසියක් නැති වුව ද යන්නී ය තවත් නිවසකට ඇය

පැමිණ මා ළඟට යළි මුහුණ සිප වැළඳගෙන
යයි රැයේ කිමිදිලා පියකු සිත සසලවා

හැඬූ විට කුඩා කල, කරට ගෙන කියා දරු නැලවිලි ද
තියා ඔබ අප නිවස තොටිල්ලේ නිදා ගත්

අපේ කිරි ළදරුවා යැයි සිතෙන‘මුත් තවම
ගැහැණියක වූ අපේ කුඩා දියණිය මෙදින

නොම රැඳී අප නිවස, යන්නී ය මහ රැයේ කිමිදිලා
තවත් නිවසකට ඇය, පියකු හද සසලවා

(2009 මැයි මස)

සුනිල් ගෝවින්නගේ

Sunday, April 17, 2011

Another New year in Perth - 2011

When parrots fly in the morning chirping
The flowers in the garden gaze at them.
The images of Erbadu flowers are not carved in my mind now,
only the smiling Bankasia flowers around.

Darkness has blossomed in the sky
This morning, sun is not around even as a medicine
Where is the New Year in a distant land
Where koho songs are absent?
Where did the sun go hiding this morning?

When the songs of koho birds have faded
Only the sounds of kookaburras in this weary morning?
Where to find erabdu flowers in this repulsive morning?
Only the eternal suffering is carved in the sky?


Will the sun come back erasing the murky sky?
Will the aromas of New Year float from the Mute Sea?
Will the songs of koho birds float around?
Will the happiness emerge as we have no New Year?

(14 April 2011)

පර්ත් නුවර අවුරුදු- 2011

ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා දෙනෙත
බැංකේසියා මල් පමණකි සිනාසෙන

අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත උදෑසන
අවුරුදු කොයි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහි දෝ උදෑසන

කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන

ඉර පායා ගන කළුවර මැකේවි දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි දෝ
අවුරුදු නැති අපට සතුටක් ලැබේවි දෝ


(2011 අප‍්‍රියෙල්, 14)