Friday, May 23, 2014

සිනුවර කවියකුට!

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ 

 (සිනුවර හසුන)

පර්ත් නුවර නැත මා දුක් විඳින්නේ
පර්ත් නුවර සුරැකිව මා රකින්නේ
සිනුවර යන වදන ද නැත හැඟන්නේ


පර්ත් නුවර පායන හඳ දිලෙන්නේ
අපේ ගමේ පුර සඳ සේ පෙනෙන්නේ
රජ උයනේ මල් ගඟුලේ රැඳෙන්නේ



සිනා රැඳුණු මා ගම නුඹ නොදන්නේ
කුමන පවින් සිනුවර නුඹ රැඳෙන්නනේ
සිනුවර යන නගරය කොයි තිබෙන්නේ?



Thursday, May 22, 2014

නිහඬ ගීතයක

https://www.youtube.com/watch?v=kDMb8v7MIVU

මා ලියන ගීතයක නිහඬ බව දකින ඔබ
පද අරුත් සුන් කියා උරණ වෙනු කිම මෙලෙස

රිද්මයට පද උපන් මැරුණු ඒ යුගය ගැන
ලියන කවි අරුත් ගැන නිහඬ වී කිම මෙදින

ගෙවුණු දින දිවා රැය හදවතක මැකනු දැක
සිනාසෙනු කිමද අද මේ නිහඬ කවි නොදැක

ගමන් මඟ මැරුණු මුත් සැඟවගෙන දිවි අරුත
කාලයේ සැඟව ගිය ඔබේ පෙම මෙන් මෙදින

දිවි මඟක අසරණව වැතිර නොහඬන දෙනෙත
සැලූ කඳුළැලි අතර දිය වීද ඔබේ පෙම

කාලයක මැකී ගිය දෙඩූ දෙබසක් අතර
මා ලියූ ගීතයක පද අරුත් සැඟව ඇත

නිල් අහස් වියන් යට රුව දකින දෙනෙත් මැද
මැකෙන රූ ගලා යයි ගඟුලක ද සිසිල ගෙන

පැරණි මතකය ගෙනෙන
මැකුණු මං පෙත් සිහින

නිහඬ ගීතය ඔබයි ගැලූ කඳුළැලි අතර

https://www.youtube.com/watch?v=kDMb8v7MIVU

Sunday, June 23, 2013

එතෙර සිට සැප දුක විමසූ කිවිඳියට ලියූ දෙවන කවිය

මව් බිම ද අහිමිවුණු කවියකු ය වෙන      මහළු
සසර දුක දස අතට ලැබුණු මිනිසෙකි      මහළු
ලියන්නට නොයෙක් තතු හිමි නමුත් මට මහළු
ලියන බස් නොවේ අද ලියන්නට මට      මහළු

සියලූ සම්පත් ද ලැබ ඉසුරු අත ගැවසුණ ද
එසම්පත් මට කුමට රටක් නැති වූ කලට
පැරණි මතකය පමණි නොමැති කල හෙට දවස
ලැබූ දන සේ මෙදින නුවණ නැත ලොව දකින

ලියන්නට නෙක පුවත් ගැවසුණ ද මා මනස
නොමැත ලියවෙන බසක් මැරෙන සේ කල දවස
වෙතත් නෙක මිතුරු කැල මා ලියන කවි දකින
ඔවුන් නොදනී මැරෙන මගේ රූපක මනස

Friday, June 21, 2013

එතෙර සිට සැප දුක විමසූ කිවිඳියට ලියූ කවිය


මිනිසත් කම ද මිය ගිය දුරු රටක සිට
විමසනු කිම ද මා තතු කවියට වැද

ඇත ලොව නොයෙක් විසිතුරු දේ කිවිඳියට
කිම හදවතින් විමසන්නේ දුක සැප ද?

සොඳුරු දසුන් තිබුන ද මේ සොඳුරු රට
කවි සිත පෙළේ නිරතුරු කිවිඳිය මෙරට

මව් බස අතැරි කවියෙකු දුක සැපට ලොබ
දුක් සැප සොයා වෙහෙසෙනු කිම එතෙර සිට?

ඇතිමුත් රුවැති හස නදියේ රැළි අතර
සුදු පැහැයෙන් බැබලෙන රූපක නොයෙක

විසි පස් වසර පසු විය මේ රටට වැද
මා ලියු සිහල කවි විය දිය වී ගඟට

මිය ගිය කවි අතර රූපක සොය යන
මම වෙමි මහළු කවියා දුක් සැප අතර

Wednesday, April 10, 2013

පර්ත් නුවර අවුරුදු - 2013


ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා මනස
බැංකේසියා මල් පමණකි සිනාසෙන

අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත හිරු රැස් උදෑසන
අවුරුදු කොහි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහිදෝ දෝ උදෑසන

කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන

ඉර පායා ගණ කළුවර මැකේවි         දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි      දෝ
අවුරුදු නැති අපට සතුටක් දැනේවි   දෝ

(සුනිල් ගෝවින්නගේ)

Tuesday, April 9, 2013

ආරාධනා.....සුහද ආරාධනා....!

(At the invitation of my dearest friend and brother Anura Hegoda)

අපි ආවෙමු මිහිතලයේ සුළු කලකට
වෙසෙන සිතක් දරා මනස
මිනිස් රුවක් දරා වුවන

පියමන් කොට මාවත්වල
තැබු සළකුණු වසා තබන
කවි පදවල දුක් සඟවා
නොලද සෙනෙහෙ ගැන ලතැවී
පෙම් කවියක් ලියා දුබල

නැගි ඉනිමංවල උස ගැන
දොඩවා නිරතුරු බස් බැඳ
සදවා මනරම් ගේ දොර
දොඩමලු වී දරුවන් ගැන
සතුරන් සදවා රට රට!

අපි යන්නෙමු මිහිතලයේ
සිරි නොම දැක
මිහිතලයේ පහස ලබා
අළු වී සුළඟට මුසු වී

හොඳ කවි පද ලීවේ නම්
ගුත්තිලයේ කවියක් ලෙස
සුළඟක් සේ සුවඳ දි දී
කල්ප වසා දින පුරවා
පාවෙනු ඇත ලොව දස අත
සේසිරි කවියා මුව රැඳි
සිව් පදයක් සේ සුන්දර!

අනුර සොයුර මා මළ විට
නිරතුරු මා අතින් ලියූ
එතෙර රැඳුණු සුළු කවි පද
කියවා ඔබ ලියන කවිය
මුහුණු පොතේ ලියනු මැනවි!

(2013 අපේ‍්‍රල් 08)

Thursday, April 4, 2013

නෙත කඳුළැලි නැත මැකුණේ

කිසි විට කවියට නො නැගුණු
ගොරහැඩි දුක් සිතුවිලි සේ
පොර කන සිතුවිලි මතකය
රුදුරු අතීතයේ ලෙන දොර
තුළින් සැණින් එළියට විත්
හිස දිගු කොට පිය ඔසවයි


සඳ එළියෙන් සිසිලස ගෙන
නෙත් දියරෙන් එය මුසු කොට
ජීවිතයේ හිසරදයට
අඳුනක් කර ගන්නෙමි මම


අවට වෙසෙන දහසක් දන
හෙළන නගන සුසුම් රළින්
එය රත් වී වියළී යයි


මිය යන්නට පණ අදිනා
අයෙකු නගන මර හඬ සේ
මා වට ඇති දස දහසක්
මුවග අඳෙdakd ලෙළ දෙයි


සැඩ හිරු රැස් කිරණ වැදී
ගත වියලෙk කල නිරතුරු
හිස සඟවන්නට පොර කයි
පාරේ වියැකෙන ජීවිත


ඔබ ගැන මතකය යට කොට
දුක් වළඳින අය පිළිබඳ
සිතුවිලි දහසක් මතුවෙයි


වෙරළක ඇඳි සිතුවම සේ
ඔබෙ රූපය කවි ලෝකෙන් මිය යද්දී
මා වට කළ අඳුර තුළින්
කවි දහසක් උපත ලබයි



1976 මහරගම