Showing posts with label Australia. Show all posts
Showing posts with label Australia. Show all posts

Friday, June 29, 2012

තවත් පැනයක්

යම් ද නොයමි ද පැනය ඇත සිත
යන මඟක් ගැන නොදත්මුත් අද
යා යුතුව ඇත තබා මේ හැම
දසුන නෙත් ගත් සොඳුරු වුව අද


හස නදී ඇත සිනා රැළි දී
පැරණි මිතුරකු ලෙසින් අසල ම
නොවේ සතුරකු වින්ටරය මැද
දසුන නෙත් ගත් සොඳුරු මිතුරෙකි


නොමැතිවුව සුතනඹු ද අසලක
වෙසේ මා හා සොඳුරු රූපක
සිතේ දුක් නැත පාව ගොස් ඇත
සොඳුරු දසුනක රැළි සිනා මැද


සැදෑ යාමේ දිවි uෙඟ් මා
පා තබා යා යුතුය හනිකට
තබා රූපක සොඳුරු දසුන ද
හැර දමා සිත ඒ හැම රූපක

ඇති නමුත් මෙහි නෙක මිනිස් කැල
වේද වදනක් හදේ බස් රැඳි
හස නදී දුන් සිනා රැළි මැද
නිදා ගත යුතු සමය එළඹිණ


Friday, August 21, 2009

මේනකාට ලියූ කවි දෙකක්

තටු සිඳුණු කිරිල්ලියක සේ සැඟව සිටි
ඔබේ අත්තටු මැවී
ගුවන් ගැබ පියාසර කරන්නී
කිම ඇවිත් අපේ වග සොයන්නී

කන්තෝරුවෙ ලිපි ගොනු මැද මැකී තිබූ
ඔබේ වතේ මුතු හසරැළි
හදිසියේ ම මතුවී ඇත

මිදුණු මෙහෙවර ලබා තුටු සිනා මතු වීද?
ගුවන් ගැබ සැරි සරණ සඳ
ලිපි ගොනු අතරේ සිර වූ
යහලූ යෙහෙළියන් කැල සිහි වී ආවෙ ද?

ගුවන් ගැබ පියාසර කරන්නී
කාලයේ රැඳී ඇති විශ්වයම ඉදිරියට ඇදෙන කල
එක් කුඩා දිවයිනක පොළෝ තල රැඳී ඇති
ඔෆිසියේ වෙසෙමි අද නොහැකි පැන විසඳන්න

ලිපි ගොනු මැද සිරවී ඇති
යහලූ යෙහෙළියන් කැල සිහි වී
ශෝකයක් ඇති වී ද?
හදිසියේ යළි ඇවිත් කිම ද සැප දුක් සොයනු
කාලයේ රැඳී ඇති විශ්වයම ඉදිරියට ඇදෙන කල?

(1982 පෙබරවාරි 1, කොළඹ)

අවුරුදු විසි හතකට පසුව

කාලය ද සැඩ නළක් සේ දරණු
සියල්ලම ඉවත් කොට ඇති දිනක
ඔබ එවයි හදිසියේ ඉන්ටනෙට් මේලයක්
තුරුණු විය මා ලියූ මිතුරු කවියක් සමඟ

මතකයේ සැඟව ගිය තවත් එක් මතකයක්
මැවේ මා දසුන මත ලියූ බව කවි ඔබට
ගොළු මුහුද හමා ආ සිහිල් සුළඟක් ලෙසින්
කාලයේ සැඟව ගිය තුරණු විය මතකයකි

කොම්පියට තිරය මත
සිහල අකුරු ද සමග
සදයි සතුටක් සිතට
ලියු වග කවි එකල

ඔබ එදින ගුවන් ගැබ තටු ලබා
ලොව වටා නෙක දසුන් බැලූ දින
මා රැඳී සිටියෙමි ය ඔබ නොසිටි ඔෆිසියේ
ලක රැඳුණු දුප්පතුන් දුක නිවන තතු සොයා

එදන ගත දුක නිවන
දන ලැබුණුමුත් එදින
ගොදුරු සොයනා සොරුන්
හොරා ගත් ධනය විය

කෝප වී රට අතැර
සොයන්නට නෙක් දැනුම
මම ආමි දකුණු කුරු දූව වෙත
රැගෙන සුතනඹු එදින

ඔබ නොදත් තතු නොයෙක
දිවි පුවත් නැත සොඳුරු
කවියකින් කිව නොහැක
වසර විසි හතක වග

ගුවන් ගැබ පියාසර කොට එදින
දැනුම ලැබ ගත් ඔබට
තිබෙනු නිසැකය නුවණ
රටක පැන විසඳන්න

ලක අත හැර මා පිටරට
වැදී ලැබූ දැනුම පටු ය
ලක පිරි ඇති පැණ විසඳන
නුවණ කියා දෙනු යෙහෙළිය!

(2009 මැයි 9, පර්ත් , බටහිර ඔස්ටේ‍්‍රලියාව)