Friday, December 4, 2009

කළු - සුදු වූ ඉතිහාසය

පර්ත් නුවර වීදි කොනක
සුරත් තඹුරු පෙති දෙනෙතින්
බමන ගතින් දුටුවෙමි නුඹ

මහ දහවල් අහසේ හිරු
වීදි මැදින් දුවනා විට
රැ යාමේ නිදිමත විත්
වීදි කොනක යහන සදයි

කහ පාටැති හිරු සලකුණු
රැගත් නුඹේ තනි දද පෙල
හිස මත්තේ වියන් බඳියි

නුඹ නිදනා කල දහවල
රැය ගෙවිලා ආ සිහිනය
අවුරුදු හතලිස් දහසක
උරුමය ගැන කියන කතා
කුමන අරුත් කියා දේ ද?

බමන ගතින් නෑයන් නුඹ
වීදි පුරා සරනා විට
සුදු මිනිසුන් දොඩන කතා
කටු පදුරක උල් වගේ ද?

කළු - සුදු වු ඉතිහාසය
ගැන ලියවුණු අකුරු පේලි
සිර මැදුරක යදම් වැනි ද?

තිසර නදියෙ ජලය සදිසි
ඉහළට ගිය ගමනක් ලෙස
ඉතිහාසය නැවතුණු දින
බමන ගතිය නැති වේවි ද?
සුරත් තඹුරු වියකේවි ද?

No comments:

Post a Comment