Wednesday, December 30, 2009

උරුමය සහ ගොළු මුහුද

ආවෙමි අතැර දමා මා සියළු උරුමය
උදෑසන හල කෙළ බිඳක් සේ
එතර වී ගොළු මුහුද සැනයෙන්
බිඳ දමා හද පෙලූ යුද බිය
උර දරා මා කුඩා දරුවන්
මව් බසින් රන් කිරි ද නොතෙමා
සියළු උරුමය මරා දමමින්
අතැර මා පිය මිතුරු කැල හැම
ජීවිතේ දායාද විසි කොට

මව් බස ද දිවගින් ඉවත් කොට
ආවෙමු ය අපි නුහුරු රටකට
එතෙර වී ගොළු මුහුද සැනයෙන්

උදෑසන අපි අවදිවෙමු හැම
අළුත් ජය බිම සුමුදු යහනින්
කුකබරුන්ගේ මියුරු හඬ මැද

වසින විට කිවිසුම් ද නිරතුරු
කේතලයේ දුම් වාෂ්ප විලසින්
මතකයට ගලා එයි
මගේ පීනස් රෝගයේ බර
මව් රටින් බැහැර කළ
උරුමයක් සේ මෙහි පැමිණ ඇත
මගේ පීනස් රෝග දාහය

(1988)

No comments:

Post a Comment