Tuesday, December 8, 2009

කවියකුට නොයැවූ කවියක්

ගොළු මුහුද අඹා ගිය
අහස් තලයේ රැඳුණු
සැටලයිටි තැටියකින්
අප කතා මුණ ගැසේ
මාස අටකට පසුව

කියයි ඔබ තුටු වදන්
මෑත දී ලියා පළ කරන්නට
හැකි වු කවි පොතක් ගැන

සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
කියයි මට තුටු වදන්
නිම කෙරූ යුදය ගැන

ත‍්‍රස්ත වැඩ නැති ලොවක
සොඳුරු බව
කියයි ඔබ තුටු වදන්

කුඩා ළමයකු අතට
ලැබුණු තිළිණය බලා
සතුටුවන
ළමයෙක් ද
කවියෙක් ද
කිව නොහැක!

දකින්නට වරම් නැති
ඔබේ තෙදවත් උවන ගැන සිතා
සතුට පළ කළෙමි මම

නිම කෙරුව යුද්ධ ගැන
කිව නොහැක!
හැම තැනම පැතිර යන
මඩ වගුරු දකිමි මම

බෙදී ගිය ජාතියක
කතා නමි අසමි මම
පැතිර යන දුගී බව
අසමි මම

අහස් කුස සොයා යන
ලූණු ගෙඩියක මිළ ද
ගැන පුවත් අසන සඳ
බත් පතක වරමි ගැන
කියන්නට නොහැක මට

දුක් වළලු හිසේ රැඳි
මිළ මුදල් අතේ නැති
ගමී දනවිවල රැඳුණු
සරණ සොයනා දනන්
රැඳුණු දිවයින ගැන ද
දොඩන්නේ ද සබඳ අද
අසන්නට සිතෙන‘මුත්
නැත කියන්නට වදන්
මුනිවතක් රකින මට

සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
වෙසෙන කළ ඔබ එතෙර
ලියා මේ සුළු කවිය
මකන්නෙමි සිතේ දුක
මතක දිවයිනක් ගැන

(2009 දෙසැමිබර 8)

No comments:

Post a Comment