Monday, February 25, 2013

නිහඬ ගීතය


(උපුල්මලී ට)

මා ලියන ගීතයක නිහඬ බව දකින ඔබ
පද අරුත්සුන් කියා සිනාසී වෙයි නිහඬ
රිද්මයට පද උපන් මැරුණු ඒ යුගය ගැන
ලියන කවි අරුත් ගැන නිහඬ වී කිම මෙදින?

ගෙවුණු දින කල්ප මෙන් හදවතක මැරෙනු දැක
සිනාසෙනු කිම ද අද නිහඬ කවි නොදැක ඔබ
ගමන් මඟ මැරුණු‘මුත් සැඟ ව නැත දිවි අරුත
කාලයේ සැඟ ව ගිය ඔබේ පෙම මෙන් මෙදින

දිවි මඟක අසරණ ව වැතිර නොහඬන දෙනෙත
සැලූ කඳුළැලි අතර දිය වී ද ඔබේ පෙම?
කාලයට මැකී ගිය දෙඩූ දෙබසක් අතර
මා ලියූ ගීතයක පද අරුත් සැඟ ව ඇත

නිල් අහස් වියන් යට ලොව දකින දෙනෙත් මැද
මැකෙන රුව ගලා යයි කඳුළක ද සිසිල ගෙන
පැරණි මතකය ගෙනෙයි මැකූණු මං පෙත් මෙදින
නිහඬ ගීතය ඔබයි ගැලූ කඳුළැලි අතර

(2013 පෙබරවාරි 26)