Friday, June 29, 2018

එතෙර සිට සැප විමසූ මිතුරාට


මිනිසත් කම ද වියැකෙන දුරු රටක සිට
විමසනු කිම ද මා තතු බැඳ    කවියකට 

ඇත ලොව නොයෙක් විසිතුරු දේ කිවිඳාට
විමසනු කිම ද මා තතු නිහැඬිව   නොසිට

සොඳුරු දසුන් තිබුණ ද මේ නුහුරු රට
හද බස පෙළේ නිරතුරු කිවිඳුණි මෙරට

මව් බස අතැරි කවියෙකු වෙමි ලොබ  සැපට
දුක් සැප සොයා වෙහෙසෙනු කිම එතෙර සිට

ඇතිමුත් රුවක් හස නදියේ රැුළි අතර
සුදු පැහැයෙන් බබලන රූපක  අතර

තිස් වසරක් ගත විය වැද මේ රටට
මා ලියු සිහල කවි දිය විය ගං දියට

දිය වුණු කවි අතර රූපක සොයා යන
මම වෙමි මහළු කවියා දුක් සැප විඳින

සුනිල් ගෝවින්නගේ

පර්ත් ගම

ජූනි 2018

Friday, January 8, 2016

සරා සිහින - තුෂාර එල්. ජයවීර

හිසේ පැලඳි කෙහෙ ගොමු සිරිපාද ලිහා
එලා පිටට මහවැලි දිය ගඟුල තියා
සරැළි රඟන අක්බඹ කෙහෙරැල්ල පිහා
තාල තියමි සුරතට ගෙන කියඹු ලියා

කපා කොටට දෑතේ දස ඇඟිලි නියා
ගෙලේ පැලඳි මුතුපොට කිරි පබළු ලිහා
එලා සුමුදු ලමැදත රන් පියුම තියා
නිවමි සියුමැලිව පිරිමැද ගින්න නුරා

දෑල දෙඅත රන් බඳ රන් දිලෙන ශ්‍රියා
සුවෙන් පිරිමදිමි ඉවසුම් හැඟුම් තියා
බාල චන්ඳ්‍ර පටු නළලත දෙතොල් තියා
තඹර සුවය තවරමි සුසුමකින් වියා

නීල නුවන් මිණිසල් යුග සෙමින් පියා
හීනි දිගටි දෙබැමම රැලි නගන ශ්‍රියා
වෙලා එකට රන්දම් රන් පාද තියා
බලා හිඳිමි නුරා හැඟුම් මවන දිහා

සරා සිහින කැලතුණු හද පවුරු ලිහා
නිදා නොනිද වැතිරෙමි සිරි යහන පිහා
උනා පැලඳි මිහිදුම් සළු සේද ලිහා
කෝල නොවී වඩින්න සඳ ලියනි ශ්‍රියා
තුෂාර එල්. ජයවීර

Sunday, August 2, 2015

මතක සොඳුරිය


නිදි සරණ වරම් නැති තවත් මහ දිගු රැයකි
මතක සැමරුම් අතර ඔබ සොයා යන රැයකි
සිහින ලොව මාවතේ ඔබ නොමැති තව රැයකි
ඔබ එතෙර ගිය පුවත මට කියන දිගු රැයකි.

නොමැත ඉසි කෝමාන මගේ හදවත පැතිරි
සෝත ළතැවිලි පමණි මතක මඟ පැතිර ගිය
ජාති කුළ ගොත් අතර බැඳුණු පෙම් පුවත් මැද
අපේ පෙම් පුවත මා කෙලෙස ලොව තබන්න ද?

අපේ සරසවි පුවත මතක මාවතේ ඇත
අප තැබූ පා ලකූණු කාලයේ රැඳී ඇත
උදෑසන හිරු ලෙසින ඔබේ වත මැකී නැත
මගේ හදවත පිරුණු පෙම් වදන් මැකී නැත

නිදි සරණ වරම් නැති තවත් මහ දිගු රැයකි
මතක සැමරුම් අතර ඔබ සොයා යන රැයකි
සිහින ලොව මාවතේ ඔබ නොමැති තව රැයකි
ඔබ එතෙර රැඳුණු බව මට කියන දිගු රැයකි

තිසර නදිය ද ගලයි ඔබ නොමැති වග කියා
රජ උයන ඉකි ගසයි ඔබ වුවන ගැන කියා
එහෙත් තව මල් පිපේ ඔබේ වුවන ද සදා
මගේ හදවත පිරුණු පෙම් පුවත ගැන කියා

පිරුණු සඳ ලොව පැතිර ඇත මෙදින අහස් ගැබ
ඔබේ වත සදිසි වග කියා මට නිහඬ ලෙස
නොමැති කල ඔබ පුවත් වසර ගෙවුණ ද මෙදින
සඳ මතින් ඔබ දකිනු ඇත මගේ කඳුළු රැස.

සුනිල් ගෝවින්නගේ

(2015 අගෝස්තු 1 දින)

(සරසවියේ මට සමු වූ මිතුරකු කියූ පුවතක් අසා කම්පාවට පත් ව මා ලියූ මේ කවිය ඉන්දුනීසියානු බසට පරිවර්තනය කොට ඇත.)

Saturday, June 20, 2015

සමු ගැනීම


තනිකම දිවියේ මාවත වූ දින
මා වට ගණඳුර මකමින්
අරුනළු රැඳි අහස් කුස ය
පෙර දින ඔබ සොඳුරිය මට

පේ‍්‍රමයෙ ගීතය වූයේ ඔබ ම ය
මිය ගිය පෙර දින සොඳුරු සිනා දී
පේ‍්‍රමයේ අරුත ද සැඟ වූ යේ ඔබ
හදවත පාරා ගොදුරක් කොට මා

මහ වනයක මා අසරණ වූ දින
නොකියා ගිය කල සුවඳක් සොයමින්
මල් දහසක් ඇති උයනක් දැක ඔබ
එමල් ද පර වී යන බව නොදැනම

වියැකුණු සෙනෙහස සොයමින් පාවෙන
මඳ නල වෙමි මම ඉකි බිඳමින් යන
ඔබ වෙයි දුර අහසේ  පුර හඳ
මකමින් ගණඳුර මා වට පැතිරෙන

කුමුදු මලක් සේ ඔබ වෙත බලමින්
හෙට උදයේ සමු ගන්නෙමි නිසැකව
තවරා මා හද සෙනෙහස පැහසර
දුර අහසක ඔබ සැඟ වී යන කල

21 ජූනි 2015 දින

Friday, May 23, 2014

සිනුවර කවියකුට!

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ 

 (සිනුවර හසුන)

පර්ත් නුවර නැත මා දුක් විඳින්නේ
පර්ත් නුවර සුරැකිව මා රකින්නේ
සිනුවර යන වදන ද නැත හැඟන්නේ


පර්ත් නුවර පායන හඳ දිලෙන්නේ
අපේ ගමේ පුර සඳ සේ පෙනෙන්නේ
රජ උයනේ මල් ගඟුලේ රැඳෙන්නේ



සිනා රැඳුණු මා ගම නුඹ නොදන්නේ
කුමන පවින් සිනුවර නුඹ රැඳෙන්නනේ
සිනුවර යන නගරය කොයි තිබෙන්නේ?



Thursday, May 22, 2014

නිහඬ ගීතයක

https://www.youtube.com/watch?v=kDMb8v7MIVU

මා ලියන ගීතයක නිහඬ බව දකින ඔබ
පද අරුත් සුන් කියා උරණ වෙනු කිම මෙලෙස

රිද්මයට පද උපන් මැරුණු ඒ යුගය ගැන
ලියන කවි අරුත් ගැන නිහඬ වී කිම මෙදින

ගෙවුණු දින දිවා රැය හදවතක මැකනු දැක
සිනාසෙනු කිමද අද මේ නිහඬ කවි නොදැක

ගමන් මඟ මැරුණු මුත් සැඟවගෙන දිවි අරුත
කාලයේ සැඟව ගිය ඔබේ පෙම මෙන් මෙදින

දිවි මඟක අසරණව වැතිර නොහඬන දෙනෙත
සැලූ කඳුළැලි අතර දිය වීද ඔබේ පෙම

කාලයක මැකී ගිය දෙඩූ දෙබසක් අතර
මා ලියූ ගීතයක පද අරුත් සැඟව ඇත

නිල් අහස් වියන් යට රුව දකින දෙනෙත් මැද
මැකෙන රූ ගලා යයි ගඟුලක ද සිසිල ගෙන

පැරණි මතකය ගෙනෙන
මැකුණු මං පෙත් සිහින

නිහඬ ගීතය ඔබයි ගැලූ කඳුළැලි අතර

https://www.youtube.com/watch?v=kDMb8v7MIVU

Sunday, June 23, 2013

එතෙර සිට සැප දුක විමසූ කිවිඳියට ලියූ දෙවන කවිය

මව් බිම ද අහිමිවුණු කවියකු ය වෙන      මහළු
සසර දුක දස අතට ලැබුණු මිනිසෙකි      මහළු
ලියන්නට නොයෙක් තතු හිමි නමුත් මට මහළු
ලියන බස් නොවේ අද ලියන්නට මට      මහළු

සියලූ සම්පත් ද ලැබ ඉසුරු අත ගැවසුණ ද
එසම්පත් මට කුමට රටක් නැති වූ කලට
පැරණි මතකය පමණි නොමැති කල හෙට දවස
ලැබූ දන සේ මෙදින නුවණ නැත ලොව දකින

ලියන්නට නෙක පුවත් ගැවසුණ ද මා මනස
නොමැත ලියවෙන බසක් මැරෙන සේ කල දවස
වෙතත් නෙක මිතුරු කැල මා ලියන කවි දකින
ඔවුන් නොදනී මැරෙන මගේ රූපක මනස