Sunday, August 2, 2015

මතක සොඳුරිය


නිදි සරණ වරම් නැති තවත් මහ දිගු රැයකි
මතක සැමරුම් අතර ඔබ සොයා යන රැයකි
සිහින ලොව මාවතේ ඔබ නොමැති තව රැයකි
ඔබ එතෙර ගිය පුවත මට කියන දිගු රැයකි.

නොමැත ඉසි කෝමාන මගේ හදවත පැතිරි
සෝත ළතැවිලි පමණි මතක මඟ පැතිර ගිය
ජාති කුළ ගොත් අතර බැඳුණු පෙම් පුවත් මැද
අපේ පෙම් පුවත මා කෙලෙස ලොව තබන්න ද?

අපේ සරසවි පුවත මතක මාවතේ ඇත
අප තැබූ පා ලකූණු කාලයේ රැඳී ඇත
උදෑසන හිරු ලෙසින ඔබේ වත මැකී නැත
මගේ හදවත පිරුණු පෙම් වදන් මැකී නැත

නිදි සරණ වරම් නැති තවත් මහ දිගු රැයකි
මතක සැමරුම් අතර ඔබ සොයා යන රැයකි
සිහින ලොව මාවතේ ඔබ නොමැති තව රැයකි
ඔබ එතෙර රැඳුණු බව මට කියන දිගු රැයකි

තිසර නදිය ද ගලයි ඔබ නොමැති වග කියා
රජ උයන ඉකි ගසයි ඔබ වුවන ගැන කියා
එහෙත් තව මල් පිපේ ඔබේ වුවන ද සදා
මගේ හදවත පිරුණු පෙම් පුවත ගැන කියා

පිරුණු සඳ ලොව පැතිර ඇත මෙදින අහස් ගැබ
ඔබේ වත සදිසි වග කියා මට නිහඬ ලෙස
නොමැති කල ඔබ පුවත් වසර ගෙවුණ ද මෙදින
සඳ මතින් ඔබ දකිනු ඇත මගේ කඳුළු රැස.

සුනිල් ගෝවින්නගේ

(2015 අගෝස්තු 1 දින)

(සරසවියේ මට සමු වූ මිතුරකු කියූ පුවතක් අසා කම්පාවට පත් ව මා ලියූ මේ කවිය ඉන්දුනීසියානු බසට පරිවර්තනය කොට ඇත.)

Saturday, June 20, 2015

සමු ගැනීම


තනිකම දිවියේ මාවත වූ දින
මා වට ගණඳුර මකමින්
අරුනළු රැඳි අහස් කුස ය
පෙර දින ඔබ සොඳුරිය මට

පේ‍්‍රමයෙ ගීතය වූයේ ඔබ ම ය
මිය ගිය පෙර දින සොඳුරු සිනා දී
පේ‍්‍රමයේ අරුත ද සැඟ වූ යේ ඔබ
හදවත පාරා ගොදුරක් කොට මා

මහ වනයක මා අසරණ වූ දින
නොකියා ගිය කල සුවඳක් සොයමින්
මල් දහසක් ඇති උයනක් දැක ඔබ
එමල් ද පර වී යන බව නොදැනම

වියැකුණු සෙනෙහස සොයමින් පාවෙන
මඳ නල වෙමි මම ඉකි බිඳමින් යන
ඔබ වෙයි දුර අහසේ  පුර හඳ
මකමින් ගණඳුර මා වට පැතිරෙන

කුමුදු මලක් සේ ඔබ වෙත බලමින්
හෙට උදයේ සමු ගන්නෙමි නිසැකව
තවරා මා හද සෙනෙහස පැහසර
දුර අහසක ඔබ සැඟ වී යන කල

21 ජූනි 2015 දින