Friday, April 30, 2010

නූපන් කවි

පායා නව දේදුන්නක්
විසිතුරු සිත්තමක් විලස
හිමිදිරියේ උදැසනම

මගෙ නිවසේ කවුළු වටා
සියොතුන් සරණා සඳ
සඳ හිනැහෙයි
පුර පෝදින
ගඟ පැද යයි සියොතුන් කැල

කාමරයේ ඈත එපිට
ගී ගයනා සියොතුන් කැල
මිහිරි තනු ද ගෙන එයි මට
නූපන් රිද්මයක් තුලින්

මල් පිබිදුණු වසන්තයේ
තවමත් නූපන් කවිවල
මගේ පැතුම් සිතුවම් වෙයි

මැදියම් රැය ගණඳුර මැද
සිර වූ කල
මගේ පැතුම් එයි එකිනෙක

අඳුරු රැයේ සෝක තැවුල්
විඳිනෙමි මම
බාල බොළඳ දරුවකු සේ

Monday, April 26, 2010

පර්ත් ගමේ සිට සිඞ්නි නුවරට ලියූ කවියක්

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ

(සිනුවර අස්නෙන් උපුටා ගත්තෙමි.)


පර්ත් ගමේ නැත හද දුක් රැඳෙන්නේ
රජ උයනකි කඳු මුදුනේ රැකෙන්නේ
තිසර නදිය ගොළු මුහුදට ඇදෙන්නේ
ගමේ සුවඳ නුඹ කොහොම ද දකින්නේ

සිඞ්නි නුවර කිම අද නුඹ කරන්නේ
විදුලි මැදින් කෙළෙස ද සඳ ගලන්නේ
බොරු ගොතමින් කතන්දරය ගොතන්නේ
බස මරමින් කොළඹ කවි ය ලියන්නේ

පර්ත් ගමේ නැත රතු වැලි කැට රැඳෙන්නේ
ගොළු මුහුදෙනි ගමට සුවඳ ඇදෙන්නේ
මාරුතයයි ඉඳ හිට අත වනන්නේ
පර්ත් ගමේ නැත හද දුක් දරන්නේ

කව් සිළුමිණ කතු ගැන කිම නොදන්නේ
සිදත් කතුගේ නමවත් නුඹ නොදන්නේ
බොරු ගොතමින් කතන්දරය කියන්නේ
බස මරමින් මුසා නොවෙ ද ලියන්නේ

සිඞ්නි නුවර ඔපෙරා ගැන ලියන්නේ
සුද්දන්ගේ මහිමය ගැන දොඩන්නේ
බොරු ගොතමින් කතන්දරය කියන්නේ
කළු මිනිසුන් ගැන කොහොමද හිතෙන්නේ

Thursday, April 22, 2010

සොරා ගෙන ගිය දියණිය

දේදුන්නේ පැහසර බඳු
ටිකිරි ළමා උවනේ පිරි
සිනහ තවම මතක පොතේ
ඇඳී ඇතැයි නොදත් දුවේ

යුද ගිණි වැද බිය වූ දින
එතර ව අප ගොළු මුහුද ද
ගෙන ආවෙමු සොඳුරු රටට
සොරුන් නැතැයි සිතා එදින

මැකී උවන ටිකිරි සිනා
වැඩිණ නුඹ ද සොඳුරු රටේ
මරු කතරක මලක් ලෙසින
සුවඳ දිදී දසත හදේ

ආකාසයේ වූ හ ගිජු ලිහිණියෝ
සැරි සරමින් සොරුන් ලෙසින්
දැහැගෙන යන්නට දරුණු නියවලින්
ගොදුරක් කොට නුඹ

පොළොවේ වූ හ වග වලස්සු
සැරි සරමින් සොඳුරු රටේ
දැහැගෙන යන්නට දරුණු නියවලින්
ගොදුරක් කොට නුඹ

රැකගෙන සිටියෙමු
පොළොවේ වූ රුදු වග වලසුන්ගෙන්
ආකාසේ වූ රුදු ගිජු ලිහිණින්ගෙන්
සොඳුරු රටේ බිය වී අප හැම කල

තුරුණු වියට පත් පිපුණු මලක් වී
සුවඳ දි දී සිටි නුඹ ගැන ගිජු වී
සොරකම් කළ දන ගැන කිම අද පැමිණිලි
සොරා ගත් පරපුරේ අයකු වී ය නුඹ

සොඳුරු රටේ දන ගැන ඇත පැමිණිලි
එහෙත් කිම ද පල නැති විය දියණිය
රැකගෙන ආ නුඹ ටිකිරි සිනා මැද
මතක වතක් වූ මා පිය දියණිය

(ඔස්ටේ‍්‍රලියානු ලේඛක පාලිත ගනේවත්ත ගේ ඇවිත් නොරටක නව කතාව කියවා පහළ වූ සිතුවිල්ලකි)

Thursday, April 15, 2010

මට අවුරුදු නැත!

හිරු සඳු මැකුණු යුගයක් අද එළඹ ඇත
දුක සැප සොයන මිතුරකු බෙහෙතකට නැත
දෙසවන වැකෙන බස් සීතල හද බිඳින
මියගිය සෙබළු මෙනි අවුරුදු සිරිත් නැත

නැත අස්වැසිලි හද කුකබර වියරු හඬ
මතකයෙ මැරී ඇත කොවුලන් නැගූ හඬ
එරබඳු මල් කොයි ද විහඟුන් නඟයි හඬ
සබඳනි ඇසු ද මා හද අද හැඬූ හඬ

ඇත මා මතකයේ ගුත්තිල කවේ පද
එනමුත් මියරු සර නෑසේ සවන් බැඳ
ගුත්තිල ඇදුරු නැත මූසිල පමණි අද
උන් වෙණ වුවත් නො ඇසෙයි නිහඬයි මහද

Friday, April 9, 2010

පොරණ නිරින්ඳා රකීවි නුඹ රට!

එපා මිනිසුනේ ඡන්දය දෙන්නට
ගෙදර ඇතිනෙ වැඩ ගොදුරු සොයන්නට

ඡන්දය දුන්නත් වෙයි ද වැඩක් අද
බඩගින්නේ ගිලෙනා කල ගම් රට

ඡන්දය අමතක වූව ද හෙට දින
බඩගිනි අමතක වෙයි දෝ ගමි දොර

ගොළු මුහුදේ දුක හඬා කියන්නට
සාගර ජලයත් මදි වූ දවසක

පොරණ නිරින්ඳා රකීවි නුඹ රට
රටක සොඳුරු බව ලොවට කියා ගෙන

Thursday, April 8, 2010

AN ELEGY FOR DAYASENA GUNASINGHE

When sun invades my home in the morning
In an alien country and runs away with my
Sleeping drunkenness
I search for a dying word.

Amongst the helpless lamenting
Sinhala poetry books in my room
I look for a poem
And summon up a friendly image.

When I was running searching for words
Amongst the bunch of phrases
I recall your advice
Like letters in a stone inscription.

When the whole world has forgotten
Your poetry today
A poem of yours appearing
In the front page of Silumina Poetry Corner.


When my dying Sinhala stanzas
Lament in a distant country
Your memory appears providing me with
Fresh metaphors.

(This poem was penned having read a poem by departed friend, Dayasena Gunasinghe, appearing in KAVITHA LATHA, the poetry page of SILUMINA on 4 April 2010)

Friday, April 2, 2010

දයාසේන ගුණසිංහ මිතුරාට ලියූ කවියක්

උදයේ හිරු ගෙට අවුදින්
නිදි වෙරි අරගෙන යන විට
අවදිව මම නුහුරු රටක
සොයනෙමි වදනක් මිය යන

කාමරයේ අසරණ වී
වැලපෙන හෙළ කවි පොත් මැද
සොයා බලමි කවියක් මම
පැරණි මිතුරු රුව සිහිකොට

වදන් පොකුරු අතර දිනෙක
කවි පද සොයමින් ගිය විට
මතකය මට දුන් උවදන්
සෙල් ලිපියක අකුරු ලෙසින

මුලු ලොව ඔබ කවි පද හැම
අමතක කොට ඇති දිනයක
සිළුමිණ පළ කොට ඇත අද
ඔබ කවියක් මුල් පිටුවක

මිය යන මා කවි පද අද
වැලපෙන කල එතර රටක
ඔබ මතකය දුව ගෙන එයි
මිය යන රූපක අරගෙන

(අප‍්‍රියෙල් 3 2010 - ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)

මෙම කවියට නිමිත්ත වූයේ සිළුමිණ පුවත් පතේ කවිතා ලතා පිටුවෙහි පළ කොට තිබූ දිවංගත දයාසේන ගුණසිංහ මහතාගේ කවියකි.
එය කියවන්න:


http://www.silumina.lk/punkalasa/20100404/_art.asp?fn=ar10040412.asp

Thursday, April 1, 2010

උපුල්මලීට

"නොදෙඩූ බසකි මහ තනිකම හද සසල
තනිකම හැඬූ විට ගොළු කොට හද ගඟුල"

"පෙර දින ලියූ මුත් පෙම් කවි සිත වපුල
නොලියූ කවිය නෙත් අග රැඳි දුක් කඳුල”

ආපසු ගමන

අඳුර මැකෙන විට මැදියම
මම එමි අරුණළු අතරෙන්
විහඟ හඬට කන් දෙන්නට
සතුරු මිතුරු හමුවන්නට

මැරුණු සැමරු මිස මතකය
නැත ලොව ගැන කිසිම වගක්
දුක් ගීයක තනුව රැඳුණු
මියුරු සුරල් මිය යන සඳ

එතෙර සසර දුක් නිවනා
තුටු ගීයක් හද රැඳේ ද?
රුදුරු වහස් බස් සඟවන
සතුරු මිතුරු හමු වේවි ද?

මගෙ ලොව හෙමි හිට දියවෙයි
සතුටු කඳුළු නෙතඟ මැවෙයි
මා හද රැඳි ගණඳුර මෙන්
අඳුර ද හෙමිහිට වියැකෙයි


(2005)