Wednesday, April 10, 2013

පර්ත් නුවර අවුරුදු - 2013


ගිරවුන් කෑ ගසා යන කල උදෑසන
වත්තේ මල් බලයි උන් දෙස යොමා නෙත
එරබදු මල් මතක රුව නැත මා මනස
බැංකේසියා මල් පමණකි සිනාසෙන

අහසේ පිපී ඇත්තේ මහ කළුවර ය
බෙහෙතට පවා නැත හිරු රැස් උදෑසන
අවුරුදු කොහි ද දුරු රට නැත කොහෝ හඬ
හිරු සැඟවී ගියෙ කොහිදෝ දෝ උදෑසන

කොහෝ ගැයූ ගී මාලා මැකුණු දින
කොකබරු හඬ ය වියරුව ගිය උදෑසන
අහසේ තැවරි දුක පමණකි සනාතන
එරබදු මල් කොයි ද රුව නැති උදෑසන

ඉර පායා ගණ කළුවර මැකේවි         දෝ
අවුරුදු සුවඳ ගොළු මුහුදෙන් ඇසේවි දෝ
කොහෝ ගයන ගී මාලා ඇසේවි      දෝ
අවුරුදු නැති අපට සතුටක් දැනේවි   දෝ

(සුනිල් ගෝවින්නගේ)

Tuesday, April 9, 2013

ආරාධනා.....සුහද ආරාධනා....!

(At the invitation of my dearest friend and brother Anura Hegoda)

අපි ආවෙමු මිහිතලයේ සුළු කලකට
වෙසෙන සිතක් දරා මනස
මිනිස් රුවක් දරා වුවන

පියමන් කොට මාවත්වල
තැබු සළකුණු වසා තබන
කවි පදවල දුක් සඟවා
නොලද සෙනෙහෙ ගැන ලතැවී
පෙම් කවියක් ලියා දුබල

නැගි ඉනිමංවල උස ගැන
දොඩවා නිරතුරු බස් බැඳ
සදවා මනරම් ගේ දොර
දොඩමලු වී දරුවන් ගැන
සතුරන් සදවා රට රට!

අපි යන්නෙමු මිහිතලයේ
සිරි නොම දැක
මිහිතලයේ පහස ලබා
අළු වී සුළඟට මුසු වී

හොඳ කවි පද ලීවේ නම්
ගුත්තිලයේ කවියක් ලෙස
සුළඟක් සේ සුවඳ දි දී
කල්ප වසා දින පුරවා
පාවෙනු ඇත ලොව දස අත
සේසිරි කවියා මුව රැඳි
සිව් පදයක් සේ සුන්දර!

අනුර සොයුර මා මළ විට
නිරතුරු මා අතින් ලියූ
එතෙර රැඳුණු සුළු කවි පද
කියවා ඔබ ලියන කවිය
මුහුණු පොතේ ලියනු මැනවි!

(2013 අපේ‍්‍රල් 08)

Thursday, April 4, 2013

නෙත කඳුළැලි නැත මැකුණේ

කිසි විට කවියට නො නැගුණු
ගොරහැඩි දුක් සිතුවිලි සේ
පොර කන සිතුවිලි මතකය
රුදුරු අතීතයේ ලෙන දොර
තුළින් සැණින් එළියට විත්
හිස දිගු කොට පිය ඔසවයි


සඳ එළියෙන් සිසිලස ගෙන
නෙත් දියරෙන් එය මුසු කොට
ජීවිතයේ හිසරදයට
අඳුනක් කර ගන්නෙමි මම


අවට වෙසෙන දහසක් දන
හෙළන නගන සුසුම් රළින්
එය රත් වී වියළී යයි


මිය යන්නට පණ අදිනා
අයෙකු නගන මර හඬ සේ
මා වට ඇති දස දහසක්
මුවග අඳෙdakd ලෙළ දෙයි


සැඩ හිරු රැස් කිරණ වැදී
ගත වියලෙk කල නිරතුරු
හිස සඟවන්නට පොර කයි
පාරේ වියැකෙන ජීවිත


ඔබ ගැන මතකය යට කොට
දුක් වළඳින අය පිළිබඳ
සිතුවිලි දහසක් මතුවෙයි


වෙරළක ඇඳි සිතුවම සේ
ඔබෙ රූපය කවි ලෝකෙන් මිය යද්දී
මා වට කළ අඳුර තුළින්
කවි දහසක් උපත ලබයි



1976 මහරගම

ලොව කම්පා වූ දිනයක්


අහස හඬා කම්පා වී
මා වෙනුවෙන් වැලපෙන කල
මුළු ලෝකය දොස් පවරයි
ගුගුරා දුක් හඬ පතුරා

මා වෙනුවෙන් දස දහසක්
නගන හෙළන සුසුම් විලස
සුළං හමා වා ගැබ කැළඹෙයි දුක් වී

ඔබගේ රැහැණින් මුදවා ලූ කල
සෙළවෙමි, කැරකෙමි
සුළඟට හසු ව වරා මලක් සේ
පා වී යන්නෙමි, පා වී යන්නෙමි.
ඊයම් බරු නැති මා සිරුර ද ගෙන
සක්වළ ඉමට ම පා වී යන්නෙමි

යළි ඉපදුනහොත් ඔබ ගේ සෙනෙහස
යළි මට ලැබෙතියි සිතමින් බිය වී
සරණක් නැතුවම පා වී යන්නෙමි
සක්වල ඉමට ම පා වී යන්නෙමි.

(1974)

මතක පිළිරැව් කාව්‍ය සංග‍්‍රහයෙනි