Wednesday, December 30, 2009

THE MUTE SEE AND MY HERITAGE

I came leaving my heritage
Like a drop of morning spittle
Breaking free from the fear of war
That hung heavy on the heart
Swiftly crossing the Mute Sea.

My babies on my shoulders
Their mouth still unsweetened
By the first golden breast-milk
The sound of their mother tongue:
Killing all our heritage
Losing mother and father
A close host of friends

Casting away life’s richness
Thrusting away
Our language from the tongue tip
We have come to a land
Strange to us, unfamiliar
Swiftly crossing the Mute Sea

Each morning we awaken
In the smooth soft beds
Of our new native land
To the kookaburra’s mad laughter

As constant sneezes stream like rain
Like steam rising from the kettle
The burden of my catarrh
Flows to my mind again:
Like some inheritance
Banished from the mother-land
It has come here
My catarrh, the burning, the pain.

(The original poem in Sinhala appearing in Sunil Govinnage’s Mathaka Divaina, 1988)
(Translation by Lakshmi de Silva)

උරුමය සහ ගොළු මුහුද

ආවෙමි අතැර දමා මා සියළු උරුමය
උදෑසන හල කෙළ බිඳක් සේ
එතර වී ගොළු මුහුද සැනයෙන්
බිඳ දමා හද පෙලූ යුද බිය
උර දරා මා කුඩා දරුවන්
මව් බසින් රන් කිරි ද නොතෙමා
සියළු උරුමය මරා දමමින්
අතැර මා පිය මිතුරු කැල හැම
ජීවිතේ දායාද විසි කොට

මව් බස ද දිවගින් ඉවත් කොට
ආවෙමු ය අපි නුහුරු රටකට
එතෙර වී ගොළු මුහුද සැනයෙන්

උදෑසන අපි අවදිවෙමු හැම
අළුත් ජය බිම සුමුදු යහනින්
කුකබරුන්ගේ මියුරු හඬ මැද

වසින විට කිවිසුම් ද නිරතුරු
කේතලයේ දුම් වාෂ්ප විලසින්
මතකයට ගලා එයි
මගේ පීනස් රෝගයේ බර
මව් රටින් බැහැර කළ
උරුමයක් සේ මෙහි පැමිණ ඇත
මගේ පීනස් රෝග දාහය

(1988)

Friday, December 18, 2009

සිංහලෙන් නොලියන්න! ලියන්න, හිතන්න, ඉංග‍්‍රිසි කවි ගැනම!

සිංහලෙන් නොලියන්න. ලියන්නට හිතන්න, ඉංග‍්‍රිසි කවි ගැනම!
- හිටපු කවියකු දුන් ඕඩරයක්

”සිංහලෙන් නොලියන්න.
ඉන් පලක් නැහැ ඔබට
මාත් දැන් ලියන්නේ
අළුත් දේ ගැන තමා
ඒත් ඉන් පලක් නැහැ
තේරෙන්නෙ නැහැ උන්ට
කියවන්නෙ නෑ එවුන්
ඩෙරීඩා ගැන මොකුත්!”

නැගේ පැනයක් මසිත

හෙළ බසින් කවි සදන
කාලයක් නැතුව ඇති
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට

ඔබ වටා රැස් ව ඇති
පහළ සිට ඔබ දකින
කන්තෝරු පිරිස් කැල
මැද රැඳුණු සඳක් වූ
සොඳුරු මා සබඳ අද
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට
හෙළ බසින් කවි ලියන
කාලයක් නැතුව ඇති

මැති ඇමති තුටු කරන
මුසා බස් ලියන ඔබ
මිනිස ඔබ කවියෙක් ද
ජීවිතේ ඉහළ නැගි?

ලෝක බැංකු ද වඳිත
උන් සරණ පතා ගෙන
ජීවිතේ ඉහළට ම නැඟණු ඔබ
අණ අසමි ගොළු මුහුද එතර සිට

අළුත් දේ ලියන්නට
අළුත් දේ කියන්නට
මනස යොමු කරන ඔබ
ගැන මතක දනිමි මම

පැරණි මතකය මරා
පැරණි පෙම ඉවතලා
දෑවැද්ද ගෙන එදා
අළුත් දිවියක් සදා
ක්ලාස් වන් හිස රඳා
නැගුණු සැටි ජීවිතේ හිණි සදා ...

මා මනසෙ කැටි ගැසුණු
කොම්පියුට මතකයකි

”සිංහලෙන් නොලියන්න”
ඉහළ සිට දෙන අණ ද
පිළිගන්න සිතන‘මුත්
සිහළ බස නැත මැරී
එතර වුව ගොළු මුහුද

සිඛ වළඳ නැති වුව ද
මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
මගේ දිවි වැළඳ ගත්

මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
ලියන්නට මගේ හද
පාරවන පුවත් ගැන

මතකයේ රැඳී ඇත
හිටපු කවියන් ගැන ද
මතක දිවයින ගැන ද
ඉංගිරිසි බස නැතිව!

Tuesday, December 15, 2009

අවදිවීම

ගුත්තිලයේ පද සොයමින්
දිව යන විට බඩවැටිවල
රුක් අත්තන මල් පොකුරක
සමු විය මට උමංදාව

නැති වූ රූපක සොයමින්
දුවගෙන ගොස් කඩනා විට
පැණි සැඟවුණු කජු පුහුලන්
උන් ඔසවයි හිස ගසමින්
මා නොහඳුන බව කියමින්

නැති වූ කාලය සමුවෙයි
වෙල අද්දර බඩවැටියක
කොරවක්කන් දුව ගෙන එයි
පන්දු ගසන්නට පෙර ලෙස

නැති වූ කාලය සමුවෙයි
ළමා වියක හසරැළි මැද
දම් පඳුරක ගෙඩි සිනහෙයි
මගේ ටිකිරි දත් පෙළ දැක

වැළඳ ගන්ට සදනා කල
දම් පඳුරක දම් පැහැයක්
මැස්සකු දිව එයි මා වෙත
පර්ත් නුවර වීදියකින්

කුදු ගසමින් හති දමමින්
දුමිරියකට නැග ගන්නට
තතනන මිනිසෙකි අසරණ
දම් ගෙඩියක පැහැය රැඳුණු
හදවත කවියක සඟවන


(2009 දෙසැමිබර 16)

Thursday, December 10, 2009

Unborn Poems

They linger over
on new born rainbows,
hover around the windows
in the early morning hours.

They float on the river
when the moon smiles
on full moon days.

When the birds sing
outside my window
they bring a melody
of an unborn rhythm.

When the spring flowers
are born they paint images
of an unborn verse.

When I look at the darkness
in the middle of the night
they come one by one
as I breathe like a child
scared of the darkness.

Tuesday, December 8, 2009

කවියකුට නොයැවූ කවියක්

ගොළු මුහුද අඹා ගිය
අහස් තලයේ රැඳුණු
සැටලයිටි තැටියකින්
අප කතා මුණ ගැසේ
මාස අටකට පසුව

කියයි ඔබ තුටු වදන්
මෑත දී ලියා පළ කරන්නට
හැකි වු කවි පොතක් ගැන

සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
කියයි මට තුටු වදන්
නිම කෙරූ යුදය ගැන

ත‍්‍රස්ත වැඩ නැති ලොවක
සොඳුරු බව
කියයි ඔබ තුටු වදන්

කුඩා ළමයකු අතට
ලැබුණු තිළිණය බලා
සතුටුවන
ළමයෙක් ද
කවියෙක් ද
කිව නොහැක!

දකින්නට වරම් නැති
ඔබේ තෙදවත් උවන ගැන සිතා
සතුට පළ කළෙමි මම

නිම කෙරුව යුද්ධ ගැන
කිව නොහැක!
හැම තැනම පැතිර යන
මඩ වගුරු දකිමි මම

බෙදී ගිය ජාතියක
කතා නමි අසමි මම
පැතිර යන දුගී බව
අසමි මම

අහස් කුස සොයා යන
ලූණු ගෙඩියක මිළ ද
ගැන පුවත් අසන සඳ
බත් පතක වරමි ගැන
කියන්නට නොහැක මට

දුක් වළලු හිසේ රැඳි
මිළ මුදල් අතේ නැති
ගමී දනවිවල රැඳුණු
සරණ සොයනා දනන්
රැඳුණු දිවයින ගැන ද
දොඩන්නේ ද සබඳ අද
අසන්නට සිතෙන‘මුත්
නැත කියන්නට වදන්
මුනිවතක් රකින මට

සතුටු ගඟුලක පතුළ
කිමිදි මාලුවකු සේ
වෙසෙන කළ ඔබ එතෙර
ලියා මේ සුළු කවිය
මකන්නෙමි සිතේ දුක
මතක දිවයිනක් ගැන

(2009 දෙසැමිබර 8)

Monday, December 7, 2009

මතක සුවඳ

පර්ත් නුවර උදෑසනට
මෆින් එකකි බ්‍රෙක්ෆස්ට් එක
උණුසුම් ඇති මෆින් දිවග
ගෑවෙන කල මතුවෙයි රස
මතක මඟක සැඟ වී ගිය

තරුණ උදෑසනක මෙරට
කන කෑමකි නුපුරුදු‘මුත්
ගල් බනිස් ද ඥණ කථා
කිඹුල් බනිස් නැති මේ රට

මෆින් මගේ බ්‍රෙක්ෆස්ට් එක
නොදනී මගෙ දොස්තර අද
දියවැඩියා ගැන දොඩවන

ගතට නුහුරු නමුත් මෆින්
උදේ බඩට හීල් දාන
ගෙන එයි රසයක් දිවගට
මතක මඟක සැඟ වී ගිය

හෙමින් හෙමින්
තලූ ගසමින් කන විට
නුපුරුදු අහරක්
මතක මඟක රැුඳි රසයකි
ළමා වියට හිත ගෙන යන

පාදුක්කේ පියරතනේ
හෝඩියෙ අකුරු ද කරමින්
ඉන්නා විට තාත්තා මට
නිති ගෙන ආ ස්පංචි කේක්
සිහිවෙයි මට පර්ත් නුවර
උදෑසනට මෆින් එකක්
කන විට බ්‍රෙක්ෆස්ට් කියමින්!

(2009 ඔක්තෝමිබර)

Friday, December 4, 2009

බිහිරි සැමියා

මා බිහිරි ව ගොස් ඇති බව
පවසයි ඔබ නිරතුරුව ම
ලියා තබයි කුඩා හසුන්
මා ගැවසෙන කාමරයක

ඔබේ මියුරු වදන් තවත්
නොඇසෙන අප නිවස ගැන ද
සැකයක් මා සිතේ තිබිණ
මෙතුවක් කල් නොදැන අරුත

මිහිරි තෙපුල් සාද කතා
අප නිවසෙන් පලා ගොස් ද
මගේ සිතේ පැනයක් විය
මෙතුවක් කල් නොදැන අරුත

ඔබේ මියුරු වදන් සැම ද
මැල වී යයි මා සවනත
සිත මා බිය වී ය නිබඳ
එකල නැගුණු ගිනි ද නිවිණ

මා බිහිරිව ගොස් ඇති බව
ලියා තැබූ පසු අද දින
නිසසල විය කැළඹුණු හද
එකල නැගුණු ගිනි ද නිවිණ

ලියනු මැනවි සොඳුර තුටින
කළ යුතු වැඩ දිනපතා ම
කොළයක සටහන් කරමින්
පෙර මට ලියු පෙම් බස් මෙන්

සිටිය හැටිය සදා තුටින
මෙදා සොඳුරු බිහිරි ලොවක
කියවා ඔබ අණ තුටු ලෙස
නිති පිළිපදිමින් දෙන අණ



(2007)

කළු - සුදු වූ ඉතිහාසය

පර්ත් නුවර වීදි කොනක
සුරත් තඹුරු පෙති දෙනෙතින්
බමන ගතින් දුටුවෙමි නුඹ

මහ දහවල් අහසේ හිරු
වීදි මැදින් දුවනා විට
රැ යාමේ නිදිමත විත්
වීදි කොනක යහන සදයි

කහ පාටැති හිරු සලකුණු
රැගත් නුඹේ තනි දද පෙල
හිස මත්තේ වියන් බඳියි

නුඹ නිදනා කල දහවල
රැය ගෙවිලා ආ සිහිනය
අවුරුදු හතලිස් දහසක
උරුමය ගැන කියන කතා
කුමන අරුත් කියා දේ ද?

බමන ගතින් නෑයන් නුඹ
වීදි පුරා සරනා විට
සුදු මිනිසුන් දොඩන කතා
කටු පදුරක උල් වගේ ද?

කළු - සුදු වු ඉතිහාසය
ගැන ලියවුණු අකුරු පේලි
සිර මැදුරක යදම් වැනි ද?

තිසර නදියෙ ජලය සදිසි
ඉහළට ගිය ගමනක් ලෙස
ඉතිහාසය නැවතුණු දින
බමන ගතිය නැති වේවි ද?
සුරත් තඹුරු වියකේවි ද?