Friday, January 8, 2016

සරා සිහින - තුෂාර එල්. ජයවීර

හිසේ පැලඳි කෙහෙ ගොමු සිරිපාද ලිහා
එලා පිටට මහවැලි දිය ගඟුල තියා
සරැළි රඟන අක්බඹ කෙහෙරැල්ල පිහා
තාල තියමි සුරතට ගෙන කියඹු ලියා

කපා කොටට දෑතේ දස ඇඟිලි නියා
ගෙලේ පැලඳි මුතුපොට කිරි පබළු ලිහා
එලා සුමුදු ලමැදත රන් පියුම තියා
නිවමි සියුමැලිව පිරිමැද ගින්න නුරා

දෑල දෙඅත රන් බඳ රන් දිලෙන ශ්‍රියා
සුවෙන් පිරිමදිමි ඉවසුම් හැඟුම් තියා
බාල චන්ඳ්‍ර පටු නළලත දෙතොල් තියා
තඹර සුවය තවරමි සුසුමකින් වියා

නීල නුවන් මිණිසල් යුග සෙමින් පියා
හීනි දිගටි දෙබැමම රැලි නගන ශ්‍රියා
වෙලා එකට රන්දම් රන් පාද තියා
බලා හිඳිමි නුරා හැඟුම් මවන දිහා

සරා සිහින කැලතුණු හද පවුරු ලිහා
නිදා නොනිද වැතිරෙමි සිරි යහන පිහා
උනා පැලඳි මිහිදුම් සළු සේද ලිහා
කෝල නොවී වඩින්න සඳ ලියනි ශ්‍රියා
තුෂාර එල්. ජයවීර

1 comment:

  1. වාව්.. ලස්සනයි...
    ලස්සන කවියකට අපි දාන කමෙන්ටු තමා අවුල් නෙහ්...

    ReplyDelete