සිහිනයක්
මා නිදියන කල මහ රැය
ගණ කළුවර එයි අවදි ව
ගොතමින් මිය යන සිහින ද
රැළි සේ වෙරළක ගැවසෙන
එක සිහිනෙක ඔබ සිටියා
මිය ගිය මවගේ රුව ගෙන අ
සරණ වී මහ වනයක
සුව දුක් සොයමින් මා ගැන
කිම වන මැද ඔබ තනි වී
අසන්නීය හිස පිරිමැද
දරු දෙදෙනා දන් දුන්නේ
මතු බුදුවන බව දැන දෝ
විමසන්නී ඇය නිරතුරු
මහ වනයේ මා ළඟ සිට
තනිකම පිසමින් මහ රැය
වනයේ ගණ කළුවර මැද
අප තනි වූ බව දැනගෙන
ඔබ ගැන මව තතු නොඅසන
කාරණය ද මට පැණයකි
මම ද කඳුළු නෙත පුරවා
දුක් මුසු ලෙස බැලිමි අහස
වැහි පොද පැතිරෙත අප වට
ගණ කළුවර වන පෙත මැද
සිහින ලොවින් මා අවදිව
බිය වී දුවනට සැරසෙමි
වැහි පොද පිණි ලෙස ඇවිදියි
මහ කළුවර රැළි වට කොට
බිය අත හැර මා අවදිව
බැලිමි අහස ලොව පැතිරුණු
ඔබ විය අහසේ පාවෙන
වළාකුලක් වී සිහිතල
කඳුළු රොදින් මා සනසන
මව රැඳි සිහිනය වට කොට
සුනිල් ගෝවින්නගේ
No comments:
Post a Comment