Friday, October 16, 2009

කවුළු පියන්පත් අරින්න

මරීයා,
ඔබෙ නිවස වට රැඳුණු
අඳුරු කැටි ඉවතලා
හිරු එළිය වැටෙන්නට
කවුළු පත් අරිනු මැන

මරීයා,
නෙත් යොමා බලනු මැන
බැඳී නැත අපේ දිවි
දුකෙන් පිරි අඳුරු සෙවනැලි සමග

මරීයා,
ඉපදීම,වැඩෙන්නට
ආදරය කරන්නට
සැනසුමක් සොයන්නට
පමණක් ද දිවි පුවත

මරීයා,
ජීවිතේ කුරිරු දින මැකී ඇත
ඔබේ නෙත් හිරු රැසින් පිරී ඇත
පුරා ගනු කිරි පැනින් දෑත් ඔබ

ඔබේ වත සිනා රැළි
ගෙමිදුලේ උල් පතක
දිය ලෙසින් පිරී ඇත

(චිලී ජාතික වික්ටර් හාරාගේ ගීයක් ඇසුරෙනි)

මෙම කවිය ගීයක සේ අසන්න:-

Abre La Ventana - Víctor Jara



http://www.youtube.com/watch?v=8Qazjdrx7Ks&feature=related

Friday, October 9, 2009

ඔසී ජන කවියක්

මල් පිපුණේ හිරු නැති දින සීතලට යි
හිරු නැඟුණේ රැය මැදියම සඳ මැරිල යි
නියෙඟට වියැකුණේ අප ගේ පෙම් අරණ යි
සමකේ පිපිණු හිරු මැරුණේ අප සමග යි

ගොළු මුහුදත් තරණය කොට පැමිණි රට
සුදු තිසරුන් කළු පැහැ ගත් සොඳුරු රට
දරුවන් අපේ සොරකම් කළ අරුම රට
පෙර පින් බලෙන් අප පණ රැකි සොඳුරු රට

දිය නැති වුවත් උගුරේ දිය බිඳු රන් දා
දරු නැති වුවත් උන් ගේ පන කෙඳි රන් දා
බත් නැති වුවත් කුස යේ අහරක් රන් දා
බස නැති වුවත් අප හද තුළ මන බන් දා

ගන රන් ලෙසින් මේ රට රුව සෑදීයන්
නිල් මල් ලෙසින් මේ රට ගං පෑදීයන්
නියඟක් නැතු ව මේ රට කෙත් පෑදීයන්
දරු නැති වුවත් සුව යහනක් සෑදීයන්

මෙම කවිය ගීයක සේ අසන්න:-

තනුව සංගීතය සහ ගායනය - කෝලිත භානු දිසානායක


http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=Lyrics&s=A0730005C03

Friday, October 2, 2009

කළු කවියෙකි සුදු ජය බිම!

අඳුරු වෙලා ඉර මැකිලා
අළු පැහැ ගත් සැන්දෑවක
ගොංමං එළියත් අරගෙන
මං යනවා හනි හනිකට
කෝච්චියක් අල්ල ගන්න
ජුන්ඩලප් හි ගෙදර යන්න

ලයිට් කනු ද වෙර ගනිද්දි
ගොංමං කළු එළවන්නට
අඳුරට මුසු වීදි කොනක
පා තැබුවෙමි හනි හනිකට

තිසර නදිය කළු පැහැගෙන
සඟවන කල කළු තිසරුන්
ගොංමං කළුවර කැටි වෙයි
ලයිට්වලින් එළිය නොදැක

පර්ත් නුවර වීදියකින්
මතුවෙයි කළු මල්ලිවරුන්
මතුවෙයි කළු නංගිවරුන්
මා දැක උන් සිනා නඟයි
ගුඞ් ඬේ යැයි මට පවසයි
නුපුරුදු බස් උන් දොඩවයි

‘අනාගතය කැටි කරවන
පැතුම් රැසක් හද බැඳ ගත්
කළු දරුවන් රැසක් නොවෙ ද
සුදු රටකට සපැමිණි උන්’

සිතමින් මම පය නැඟුවෙමි
මා යන මඟ සොයා යළිත්

දුම්රිය පොළ අසල ගැවසි
ආදි වාසයෙකි අසරණ
ඉල්ලයි ඔහු ඩොලර් එකක්

මම හනිකට පා නැඟුවෙමි
අල්ලන්නට ඊ-දුම්රිය
අසුනක් ලැබ
සිංහල කවියක් බලමින්
ඈත නුහුරු රටක සුවඳ
අල්ලන්නට බලනා සඳ
මගේ සිතේ සිතුවිලි මැද
කළු පැහැ ගත් රූපක ඇත
ගොංමං කළුවර පැහැ ගත්

ඇයි නොදුන්නෙ ඩොලර් එකක්
ආදි වාසියා අල්ලට
ඇයි නොකියා පා තැබුවේ
එක වදනක් හෝ නොදොඩා?

ඩොලර් එකක් ඉල්ලුවෙ නුඹ
අද හවසට තව බොන්න ද?
ඩොලර් එකට වෝට බොටල්
එකක් පවා නොලැබෙන රට!

සුදු වු මෙරට අඳුරු පුවත්
කළුවන් කළු මල්ලිලාට
කළුවන් කළු නංගිලාට
නොකී වදන් ඉකි බිඳීවි

අසරණ වී සරණාගත
මිනිසුන් සේ ආපු රට ද?

ඩොලර සොයා මා මෙන්
සුදු ජය බිම වෙත ආ ගමන ද?
දෙමාපියන් අල්ලට සුදු කාසි හිඟා
දැනුම සොයන්නට එව්ව ද
සුදුවන් සුදු ජය බිමකට?

පැණ විසඳන නුවණ ඇතැයි
සිතා මවෙත වදන් ගසන
මතක දිවයිනේ කවියෙනි
මා විසඳන පැණ නැත ලොව
කළු කවියෙකි සුදු ජය බිම!