අඳුරු වෙලා ඉර මැකිලා
අළු පැහැ ගත් සැන්දෑවක
ගොංමං එළියත් අරගෙන
මං යනවා හනි හනිකට
කෝච්චියක් අල්ල ගන්න
ජුන්ඩලප් හි ගෙදර යන්න
ලයිට් කනු ද වෙර ගනිද්දි
ගොංමං කළු එළවන්නට
අඳුරට මුසු වීදි කොනක
පා තැබුවෙමි හනි හනිකට
තිසර නදිය කළු පැහැගෙන
සඟවන කල කළු තිසරුන්
ගොංමං කළුවර කැටි වෙයි
ලයිට්වලින් එළිය නොදැක
පර්ත් නුවර වීදියකින්
මතුවෙයි කළු මල්ලිවරුන්
මතුවෙයි කළු නංගිවරුන්
මා දැක උන් සිනා නඟයි
ගුඞ් ඬේ යැයි මට පවසයි
නුපුරුදු බස් උන් දොඩවයි
‘අනාගතය කැටි කරවන
පැතුම් රැසක් හද බැඳ ගත්
කළු දරුවන් රැසක් නොවෙ ද
සුදු රටකට සපැමිණි උන්’
සිතමින් මම පය නැඟුවෙමි
මා යන මඟ සොයා යළිත්
දුම්රිය පොළ අසල ගැවසි
ආදි වාසයෙකි අසරණ
ඉල්ලයි ඔහු ඩොලර් එකක්
මම හනිකට පා නැඟුවෙමි
අල්ලන්නට ඊ-දුම්රිය
අසුනක් ලැබ
සිංහල කවියක් බලමින්
ඈත නුහුරු රටක සුවඳ
අල්ලන්නට බලනා සඳ
මගේ සිතේ සිතුවිලි මැද
කළු පැහැ ගත් රූපක ඇත
ගොංමං කළුවර පැහැ ගත්
ඇයි නොදුන්නෙ ඩොලර් එකක්
ආදි වාසියා අල්ලට
ඇයි නොකියා පා තැබුවේ
එක වදනක් හෝ නොදොඩා?
ඩොලර් එකක් ඉල්ලුවෙ නුඹ
අද හවසට තව බොන්න ද?
ඩොලර් එකට වෝට බොටල්
එකක් පවා නොලැබෙන රට!
සුදු වු මෙරට අඳුරු පුවත්
කළුවන් කළු මල්ලිලාට
කළුවන් කළු නංගිලාට
නොකී වදන් ඉකි බිඳීවි
අසරණ වී සරණාගත
මිනිසුන් සේ ආපු රට ද?
ඩොලර සොයා මා මෙන්
සුදු ජය බිම වෙත ආ ගමන ද?
දෙමාපියන් අල්ලට සුදු කාසි හිඟා
දැනුම සොයන්නට එව්ව ද
සුදුවන් සුදු ජය බිමකට?
පැණ විසඳන නුවණ ඇතැයි
සිතා මවෙත වදන් ගසන
මතක දිවයිනේ කවියෙනි
මා විසඳන පැණ නැත ලොව
කළු කවියෙකි සුදු ජය බිම!
Friday, October 2, 2009
Subscribe to:
Post Comments (Atom)
මල්ලිවරුන්
ReplyDeleteනංගිවරුන්
හරිම කදිම යෙදුම් බෙදුම්!
සිනමා පටයක් වගේ මේ සියල්ල සිතේ ඇඳෙනවා කවියේ පෙලින් පෙල යද්දී.
පුදුමය කියන්නේ එහෙම කියවන් යද්දි වෙනත් කවි වල ආරක්ෂා කළ රිද්මය තැනින් තැන බිඳී ගියත් එතන ඒ අවුල මනසේ මැවෙන චිත්‍ර විසින් පුරුද්දලා දාන එකයි.