Saturday, May 22, 2010

එතර සිට කරන ඉල්ලීමකි

ලියන්නේ කවි කුමට මතක සඟවන රටට
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන

දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද

දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ


2101 මැයි 20

Thursday, May 13, 2010

උද්දාමය

ඒ දිගු අවුරුදු ඔස්සේ
මම සැනසුම සොයා ගියෙමි
ආනන්දය සමු වි ය මට
උමතු බව ද සමු වි ය මට
හුදෙකලාව සමු වි ය මට
හදවත මා පහුරාලන
තනිවීමේ වේදනාව සමු වි ය මට
එනමුත් මා සෙවු සැනසුම
සමු වූයේ නැත මට නම්

වයස ගෙවී වියපත් වී
අවසානය ලං වූ කළ
ඔබ හදවත දැන ගත්තෙමි
මා දැන ගත් දැනුම තුළින්
සැනසුම පිරි උද්දාමය සමු විය මට

තනි ව විසූ යුගයට පසු
සෙනෙහස පිරි ජීවිතයේ
අරුත කුමක් විය යුතු දැ යි
දන්නෙමි මම

දැන් මා නෙත් වැසී ගියත්
සියළු පැතුම් සපුරා ගත්
නින්දක් මට නිදත හැකි ය.

(1976)

(මෙය බි‍්‍රතාන්‍ය ජාතික දර්ශන වාදියකු වූ බර්ට‍්‍රන්ඞ් රසල් සිය ආත්ම චරිතාපදානයට ඇතුලත් කළ කවියක පරිවර්තනයකි)

Saturday, May 8, 2010

රැයේ ගෙදර එන දරුවෙකුට

රැය මැරෙන විට හෙටට
සොරෙකු ගෙට එන විලස
ඔබ ගෙදර එයි ඇඳට
දරුවෙකු ව පෙර විලස

නිදි නැතිව රිදෙන ඇඟ
තවන කල ඇසෙයි මට
ඔබ කහින හඬ නිබඳ
රැහියියන් නැති රැයක

මගේ සිත දුවයි පෙර
කුඩා කල රෝගි වූ දිනක් වෙත
ඔබේ මව මෙන් මා ද
නිදි නොලද දින වූහ

ළමා විය ගලා ගොස්
ගසක් සේ වැඩුණු සඳ
ඔබ සැදුණු සැටි බලා
සතුටු වූ දින බොහො ය

කල ගෙවී පිය සෙනෙහ
අමතක ව වැඩුණ ඔබ
වැඩිහිටි ව කහින විට
දරුවෙක් ය මේ රැය ද

Thursday, May 6, 2010

සොහොයුරාට ලියූ කවියක්

කියයි ඔබ වේදනා - ගත ඉරුණු වේදනා
සසර දුක කැටුව එන - ගත දවන වේදනා

කුඩා කල සිට දුකින් - කල් මැරුණු ජීවිතය
දුක දරා ගත ඉරුණු - සඟව ගත් ජීවිතය

බාල විය පිය සෙනෙහ - සැඟව ගිය දින එදින
ඔබ බියව හැඩූ සැටි -රැඳී ඇත මතකයේ
සෙල් ලිපියෙ අකුරු සේ

ලියන්නට අප පුවත් - වෙනස් කොට අපේ වත
යා නොහැක අතීතය - වැසුණු මං පෙතකි අද

ඔබේ ගත දුක නිවන - සෙනෙහසක වදන් මිස
ලියන්නට නොහැක මට - ගයන්නට දුක් ගීය


(2010 මැයි 04)

Monday, May 3, 2010

අකුණු කෙටූ රාත‍්‍රියක්

ආකාසය කුකබරකු සේ නැත වැලපෙන්නේ
බේබද්දකු සේ වහසි බස් දොඩයි.
රිදී ඊතල ගත් අකුණු සේනාපති
මා සටනට කැඳවන සතුරෙකි.
බිය වී තනි යහනේ වැතිරී සැඟ වී
මපියාණන් වෙසෙන සොහොනට සිත යවා
අන්ධකාරයට තුරුළු වෙමි.

කැළණී ගඟ සිහින පාරුවකි
සිරිපා නගින බැතිමතුන්ගේ
තුන්කවි අහස් කුසින් කිදා බසියි.
කිරි පැණි සිහිනෙන් කෑ රසක් පමණි.

මැදියමේ අවදිවන මා
හිරු ඉපදෙන තුරු
සිතුවිලි මඟක අඳුර කපමින්
සක්මන් කරමි.