Thursday, December 27, 2012

පැරණි මිතුරකුට ලියූ කවිය


ඔබ වීය අඳුරු යුග නැණැ පහන යුගයකට
සම ලොවක් සදන මඟ කියා දී අප සැමට
ඔබ වීය මිණි පහන පැරණි යුගයක මැකෙන
නැණැ නැවින් එතෙර කොට ලබා දී මට දැනුම

විදු නුවණ කුමක්දැයි කියා දුන්නේ ඔබ ය
ශේක්ස්පිය ලියූ පද අරුත් කීවේ ඔබ ය
විකුම්සිහ ගත් කරු ද හැඳුන්වූයේ ඔබ ය
මා දිවියේ අඳුරු යුග මකා දුන්නේ ඔබ ය

දේව අදහස් සැවොම කඩා බිඳ විදු ඇසින
නුවණ පෙන්වීය ඔබ යුගයකට පෙර දවස
විදු දැනුම එකම මඟ සසර දුක නැති කරන
කිය දී අප සැමට වීය ඔබ නැණැ පහන

අඳුරු යුග අප පෙළෙන පැමිණි කළ මව් බිමට
කිම අරුම බස් දොඩා ඔබ ගොතන අමන රඟ
නීතියේ නියම ගැන නොමැති කල ඔබ මනස
කිම අරුත් සුන් වදන් ලියා අප හද පෙළෙන

කාලයේ සැඩ නළ ද මකා හැරියේ නුවණ
මහළු දිවි රුදු විලස පැහැර ගත්තේ ද නැණ
බල කාම පිරිස් මැද අඳ වීඳ ඔබ දෙනෙත
මෙපැණ හැම මවිත කොට ඇත මගේ මනස අද

1 comment:

  1. අගනා අදහස කවියකට නගා ඇත කවියා සිය අර්ථය මනාව පැහැදිළි කිරීම සදහා සදැස් කාව්‍ය ප්‍රමිතියෙන් බැහැරව මෙය ලියා ඇත

    ReplyDelete