Friday, December 18, 2009

සිංහලෙන් නොලියන්න! ලියන්න, හිතන්න, ඉංග‍්‍රිසි කවි ගැනම!

සිංහලෙන් නොලියන්න. ලියන්නට හිතන්න, ඉංග‍්‍රිසි කවි ගැනම!
- හිටපු කවියකු දුන් ඕඩරයක්

”සිංහලෙන් නොලියන්න.
ඉන් පලක් නැහැ ඔබට
මාත් දැන් ලියන්නේ
අළුත් දේ ගැන තමා
ඒත් ඉන් පලක් නැහැ
තේරෙන්නෙ නැහැ උන්ට
කියවන්නෙ නෑ එවුන්
ඩෙරීඩා ගැන මොකුත්!”

නැගේ පැනයක් මසිත

හෙළ බසින් කවි සදන
කාලයක් නැතුව ඇති
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට

ඔබ වටා රැස් ව ඇති
පහළ සිට ඔබ දකින
කන්තෝරු පිරිස් කැල
මැද රැඳුණු සඳක් වූ
සොඳුරු මා සබඳ අද
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට
හෙළ බසින් කවි ලියන
කාලයක් නැතුව ඇති

මැති ඇමති තුටු කරන
මුසා බස් ලියන ඔබ
මිනිස ඔබ කවියෙක් ද
ජීවිතේ ඉහළ නැගි?

ලෝක බැංකු ද වඳිත
උන් සරණ පතා ගෙන
ජීවිතේ ඉහළට ම නැඟණු ඔබ
අණ අසමි ගොළු මුහුද එතර සිට

අළුත් දේ ලියන්නට
අළුත් දේ කියන්නට
මනස යොමු කරන ඔබ
ගැන මතක දනිමි මම

පැරණි මතකය මරා
පැරණි පෙම ඉවතලා
දෑවැද්ද ගෙන එදා
අළුත් දිවියක් සදා
ක්ලාස් වන් හිස රඳා
නැගුණු සැටි ජීවිතේ හිණි සදා ...

මා මනසෙ කැටි ගැසුණු
කොම්පියුට මතකයකි

”සිංහලෙන් නොලියන්න”
ඉහළ සිට දෙන අණ ද
පිළිගන්න සිතන‘මුත්
සිහළ බස නැත මැරී
එතර වුව ගොළු මුහුද

සිඛ වළඳ නැති වුව ද
මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
මගේ දිවි වැළඳ ගත්

මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
ලියන්නට මගේ හද
පාරවන පුවත් ගැන

මතකයේ රැඳී ඇත
හිටපු කවියන් ගැන ද
මතක දිවයින ගැන ද
ඉංගිරිසි බස නැතිව!

1 comment:

  1. ඔබේ පද මාලා කියවීමෙ භාග්‍යය ලද්දෙමි නව තාක්ෂණයට පින්සිදු වන්නට.

    මෙ පදවැලට ගොඩාක් හිත ගියා. බොහෝ විට ඒ ඕඩරය ගැන වෙන්න ඇති. ඒත් අද තාක්ෂණයේ දියුණුව ද අස්සක් මුල්ලක් නෑර විසිරීම නිසා වෙන්න ඇති හිතන දේ ලියන්නත්, ලියන දේ ඵල කරන්නත් හැකි මාධ්‍යයක් තිබීම නිසා කාව්‍යකරණයට ඉමහත් රුකුලක් වී ඇතැයි සිතේ.

    ඒ කෙසේ වෙතත්, ඔබවන් ප්‍රවීණයන් හා සසදන්න බැහැ. ඔබේ පදවැල් කියවන විට ලොකු සෙවනක ඉන්නවා වගේ දැනුනා.

    ඔබට යහපතක්ම පතමි.

    http://galmal.blogspot.com/
    http://amazingspring.blogspot.com/

    ReplyDelete