Monday, May 23, 2011

ගෙදර ආ දියණියට ලියූ කවිය

බොහෝ කලකට පසු ව ඔබ පැමිණ ඇත ගෙදර
සොඳුරු මල් මිටක් ගෙන මව් දිනය සමරන්න

සෝක උවනක් සදා නිහඬ ඔබ දුටු කලට
මතකයට නැගෙන්නේ ළදරු කිරි දරුවෙක් ය

මැරෙන‘මුත් හැම මතක කාලයේ සැඟ ව ගොස්
ඔබෙ ළමා විය තවම මතකයේ ගල් කුලකි

දසක දෙක නිමා වන කාලය ද පැමිණි‘මුත්
ඔබ සොඳුරු යුවතියක බව මගේ සිත කියයි

වසර නෙක ගෙවී ගොස් කාලයේ සැඟවුණ ද
කිම ද කිරි දරු සුවඳ හමන්නේ නුඹ ගතින්?

වාඩි වී මේසයට බත් මාළු කන අතර
බාල විය බත් කටක් කවන්නට දැරූ දිරි සිහි කරමි

මව් දිනය ගෙවී යයි රැය ළඟා වෙයි සතුරු
හදිසියක් නැති වුව ද යන්නී ය තවත් නිවසකට ඇය

පැමිණ මා ළඟට යළි මුහුණ සිප වැළඳගෙන
යයි රැයේ කිමිදිලා පියකු සිත සසලවා

හැඬූ විට කුඩා කල, කරට ගෙන කියා දරු නැලවිලි ද
තියා ඔබ අප නිවස තොටිල්ලේ නිදා ගත්

අපේ කිරි ළදරුවා යැයි සිතෙන‘මුත් තවම
ගැහැණියක වූ අපේ කුඩා දියණිය මෙදින

නොම රැඳී අප නිවස, යන්නී ය මහ රැයේ කිමිදිලා
තවත් නිවසකට ඇය, පියකු හද සසලවා

(2009 මැයි මස)

සුනිල් ගෝවින්නගේ

No comments:

Post a Comment