Tuesday, March 30, 2010

කවියා

දිගන්තයේ පැතිරී ගිය
නුබ කුස පියසක් වන සඳ
තුරු වදුලක් රුක් සෙවනක්
ජීවිතයට වියන් බඳියි.

පංකාවක සිසිලෙන් නොව
ගත දැවටෙන සුළං රොදින්
ජීවන සරතැස නිමවෙයි
ලොව දස අත විසිරී ඇති.

සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
මව් පිය නෑයන් කුමට ද
බිම් අඟලක උරුමය ගැන?

ලියවුණු පත් ඉරු කුමට ද?
ලොව දස අත පැතිරී ගිය
බිම් උරුමය ලද මා හට.

නෙක මන්දිර අටු කොටු හැම
වට කොට වැට බඳිණු කුමට?
ඉන් නො බැඳුණු වා ගැබ රැඳි
සුළං රොදක් වන්නෙමි මම.

(1976, කොළඹ)

Monday, March 29, 2010

ජනේලයෙන් එතෙර ලෝකය

නිල් ආකසේ තරු මැල වෙන්නේ
ජීවිතයේ සිතුවම් මිය යන් නේ
ජනේලයෙන් පිට එළිය රැඳෙන්නේ
තිසර නදිය හෙමිහිට පාවෙන්නේ

තුරුණු වියේ සිහිනය තරු වැන්නේ
මැදියම් විය මා අතැර දුවන්නේ
කවි මිය ගිය මා සිත වැලපෙන්නේ
නෙත් රැඳි කඳුළ ද ගඟට වැටෙන්නේ

පාළු නුවර ගොළු වූ මිනිසුන්නේ
කිම මා කවි බස නැත වැටහෙන්නේ
විරිතක් නැති එළි වැට සැඟවෙන්නේ
කිම දුක් වී මා මෙහි ගැවසෙන්නේ

සුදු තිසරුන් මෙහි කළුව දකින්නේ
මිය යන කවි පද ගඟ ඉනි වැන්නේ
පාළු නුවර සැඟ වී වැලපෙන්නේ
ගඟකට කඳුළක් නැත වග දන්නේ

Friday, March 26, 2010

ඔපෙරාව බලන්නට නොඑමි!

ගොළු මුහුද එතෙර වුව ඇසෙයි මට දුක් රාව
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව නොවේ ඔබෙ ඔපෙරාව!

කුරිරු යුද රැස් වැදී දැවී යන ලංකාව
නිවන ජල කඳක් වෙද ඔබ ලියූ ඔපෙරාව?

යුදට ගොස් දිවි මැකුණු
එකම පුත් සොහොන් මත
ඇඬූ මා පියන් කැල
මකා හද කම්පාව නිවන්නට හැකිවේ ද
ලියූ ඒ ඔපෙරාව?

සුතනඹුන් හැර දමා මරා හද රුඳි බිය ද
නුහුරු අවියක් රැගෙන කුරිරු යුද බිමට ගිය
අපේ රණවිරුවන්ට ඇසේවි ද ඔපෙරාව?

ගොළු මුහුද වියරු වී මැකූ දින ගම් දනව්
මා පියන් අහිමි වූ දරු කැලට
සැනසුමක් ගෙනදේ ද ඔබ ලියූ ඔපෙරාව?

බෙහෙත් උගුරක් නැතුව
රෝහලේ අගුපිළක වැටී දුක් කඳුළු ගත්
ඔබේ රට වැසියන්ට ඇසේවි ද ඔපෙරාව?

ගොළු මුහුද එතෙර වුව ඇසෙයි මට කුරිරු රළ
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව මට එපා ඔපෙරාව

ගීත මැදින් වෙඩි හඬ මට ඇසෙන්නේ
මැරුණු සෙබළු සුතනඹු දුක දැනෙන්නේ
ගීත මැදින් දන දුක් හඬ ඇසෙන්නේ
හෙළුව සදිසි දුප්පත් කම පෙනෙන්නේ

Wednesday, March 24, 2010

මාර්ටින් වික‍්‍රමසිංහට ලියූ කවියක්

"මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ඔත්පොළව ලෙඩ ඇඳක වැතිරී සිටින සැටි දුටු
මට මහත් ශෝකයක් ඇති වි ය. පැරණි දින පොතක සටහනකිනි."

අපේ පොරණ හෙළ සාහිත තැන්නේ
අතීතයෙන් මහ සරු වූ පොළොවක
දස අත පැතිරී අතු පත් විහිදුණු
මහා ගසකි ඔබ සිසිලස දුන් මට

ඉඳ හිට ආ සුළි සුළඟට හසු වී
පොළොවට විහිදුණු ගැඹුරු'ති මුල් ඇති
නුග රුක බඳු ඔබ ඇද වැටුණේ නැත
ඉඳ හිට කැණහිල් රාව ඇසුණු‘මුත්
සවි බල ඔබ සිත
කැණහිල් රාවයෙ ඊ තල පහරට
පලිහක් වූ වා මිස හැම විටෙක දි

කෙහෙල් ගසක් නම් නො වී ය කිසි විට
නුග ගස සිය පල දසත හෙළන සේ
නිසරු වියළි හෙළ සාහිත තැන්නේ
දසක අටක් තුළ ඔබ දුන් සරු පල
ඔබේ සෙවන මැද මහ ගස් වනු ඇත

ඉඳ හිට හැමු මහ සුළි සුළඟට හෝ
කැණහිල් රාවයෙ ඊ තල පහරට
නො සැලූණු ඔබ අද
සසර දුකක් ගැන තොරතුරු අඟවයි
කාලය සැඟවෙන බව මට කියමින්

(1976 ජූනි, නාවල, රාජගිරිය)

Tuesday, March 23, 2010

පැරණි මිතුරකුට ලියූ කවියක්

ගුත්තිලේ සිවි පද ද පලා ගොස්
ගිලී ඇත වක ගැසුණු පාර මැද
පශ්චාත් සාහිත්‍ය විවර මත අසරණව
මැරී ඇත රූපක ද මහළු මිත්තණිය සේ

ගුරුළු ගෝමී ද නැත
සිඛ වළඳ පමණි ළඟ
ශ්‍රී රහල් හිමි ලියූ
පොත් ද නැත ළඟ පාත

ගුරුළු ගෝමී අතැර කැටුව ආ ඩෙරීඩා
ඇත වැතිර අලස ලෙස
දමයන්තී අතැර දෑවැද්ද සමග ආ
බිරිය මෙන් හොඳ මහත

වත්තෙ වූ පැල්පතේ පිපී ඇත මහ මැදුර
රූපක ද මිය ගොස් ය පශ්චාත් පඳුරු මැද

අසල ඇති කලපුවේ දිය රැඳිණ
නෙත් කෙවන මඩ වැන්න
රට පාල පරිපාල සේවයේ ඉහළ ගිය
ඉනි මං ද නැත අසල

චක‍්‍ර ලේඛණ නොයෙක
පසු කරන් ආ ගමන
අතර මං වූ සොඳුරු
නොලියු කවි පෙල වැන්න

රට පාල පරිපාල
සේවයට ඉහළ ගිය
ඉනි මගේ පහළ ඇත
වැසුණු ඔපෙරා තිරය