Thursday, September 30, 2010

ඔපෙරාව බලන්නට නොඑමි

ගොළු මුහුද එතෙර වුව ඇසෙයි මට දුක් රාව
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව නොවේ ඔබෙ ඔපෙරාව

කුරිරු යුද රැස් වැදී දැවී ගිය ලංකාව
නිවන ජල කඳක් වෙද ඔබ ලියූ ඔපෙරාව?

යුදට ගොස් දිවි මැකුණු
එකම පුත් සොහොන මත
ඇඬූ මා පියන් කැල මකා හද කම්පාව
නිවන්නට හැකිවේ ද ලියූ ඒ ඔපෙරාව?

සුතනඹුන් හැර දමා මරා හද රැඳි බිය ද
නුහුරු අවියක් රැගෙන කුරිරු යුද බිමට ගිය
අපේ රණ විරුවන්ට ඇසේ වි ද ඔපෙරාව?

ගොළු මුහුද වියරු වී මැකූ දින ගම් දනව්
මා පියන් අහිමි වූ දරු කැලට
සැනසුමක් ගෙන දේ ද ඔබ ලියූ ඔපෙරාව?

බෙහෙත් උගුරක් නැතුව
රෝහලේ අගු පිළක
වැටී දුක් කඳුළු ගත්
ඔබේ රට වැසියන්ට ඇසේ වි ද ඔපෙරාව?

ගොළු මුහුද එතෙර වු ව දකිමි මම කුරිරු රළ
නෙත් රැඳුණු කඳුළු කඳු වැදී එන දුක් රාව
වේ ය මා හද රාව මට එපා ඔපෙරාව!

No comments:

Post a Comment