Sunday, September 20, 2009

භාග්‍යයවත් බුද්ධිමතා

ෂක් ඩෙරීඩා ගැන ද
තවත් පඬිවරුන් ගැන
මා කියූ දේ ඇසූ
ඔහු දෙඩූ බස් එදින
මවිතයක් වීය මට

මා සිතා සිටි විලස
ඔවුන් ඔබ රටේ ඇති
ත‍්‍රස්තයන් නොවන්නෙ ද?

අසයි ඔහු නොයෙක් පැන!

ෂක් ඩෙරීඩා ගැන ද
මයික් ෆූකෝ ගැන ද
කියා දුන්නෙමි ඔහුට
මගේ තුනි දැනුම මැන

මා කියූ බස් අසා
ඔහු වහා මවිත විය.
ප‍්‍රති වදන් ලැබිණ මට
හදිසියේ ඇද හැලෙන
අසිනි වැස්සක් විලස

"ඔබ සිතන්නේ කිම ද?
තබා ඔබ දෙපා බිම
සිටිය යුතු වේ නිබඳ
සිතට ගනු මැන සබඳ

දර්ශනේ කිම අරුත?
පණ නොමැත සාහිත්‍ය පොත අතර
මේ රටේ වෙසෙන ඔබ
ඔස් වදන් දොඩන‘යුරු
ගැන සොයා බැලිය යුතු

පිහිට වනු ඇත ඔබට
කළමනාකරණය ද
කළ මැනවි උපාධිය
පිහිට වෙනු ඇත ඔබට”

මෑතක දි ලබා ගත්
නිල රියේ යතුර මට
හිස උඩින් පෙන් වීය
මම පයින් ඇවිද්දෙමි
දුම්රියෙන් ගෙදර යන්නට
හනික!

No comments:

Post a Comment