Saturday, August 29, 2009

පියාඹමි දස දෙස

රටින් රට සැරි සරන
ගුවන් ගැබ සරා යන
කුරුල්ලකු ලෙසින් මම
පියාඹමි රටින් රට
අතැර මා ජය බිම ද
සුතනඹුන් හා නිවෙස

මතක දිවයින ගැන ද
පඬිවරුන් ලියූ පොත්
ගැන ද බස් දොඩවමින්
ගුවන් ගැබ සරා යන
කුරුල්ලෙකි මෙදින මම

විසල් තුඟු මැඳුරුවල
දිවි රකින මිතුරු කැල
බලා නෙත් අයාගෙන
රටින් රට සැරි සරමි

දකුණු කුරු දූපතේ
කුරුළු නිවසක රැඳුණු
මට මහත් අරුමයකි
මිතුරු මිතුරියන් රැඳි
තුඟු විසල් මැඳුරු රැස

ගුවන් ගැබ සරන සඳ
ගිනි පෙට්ටි රැසක් බඳු
තුඟු විසල් මැඳුරු රැස
දකින සඳ නොයෙක් විට
නැගේ පැනයක් මසිත

කිම ද මා මිතුරු කැළ
වෙසෙන්නේ මැඳුරුවල
ගුවන් ගැබ සරා යන
කුරුල්ලන් නොවන්නෙද?
කිම ද නොදනිමි තවම

උදෑසන පිටත් වී
සවස් කල යළිත් එන
ගමන් මඟ ගොසින් ඇත
නොදත්තෙමි අරුත් රැස
විසූ දින මැඳුරු මැද

ජීවිතේ අරුත් රැස
සොයන්නට ලියනු මැන
කවි පෙළක් හද ඇඳෙන
සොයා දිවි අරුත් දැන
මකා දුක හද රැඳෙන

(ලොස් ඇන්ජලීස්, 2007 අප‍්‍රියෙල් 7)

1 comment:

  1. මේ කවියේ මුල ටිකට වඩා මම ආසයි අග ටිකට. මොකද මේ ජය බිම, මතක දිවයින, දකුණු කුරැ දූපත ,වින්ටරය යනාදී සුනිලුන්ටම ආවේණික වූ සුලබ රෑපකයන් නිසා මේ බොහෝ කවි වල රස විඳුම බාධාකරවනවා කීවොත් ඒ අහිතකින් නම් නොවෙයි.

    මේ කවියටත් මම කැමතියි.

    ReplyDelete