Thursday, August 27, 2009

නෙත කඳුළැලි නැත මැකුණේ

කිසි විට කවියට නො නැගුණු
ගොරහැඩි දුක් සිතුවිලි සේ
පොර කන සිතුවිලි මතකය
රුදුරු අතීතයේ ලෙන දොර
තුළින් සැණින් එළියට විත්
හිස දිගු කොට පිය ඔසවයි

සඳ එළියෙන් සිසිලස ගෙන
නෙත් දියරෙන් එය මුසු කොට
ජීවිතයේ හිසරදයට
අඳුනක් කර ගන්නෙමි මම

අවට වෙසෙන දහසක් දන
හෙළන නගන සුසුම් රළින්
එය රත් වී වියළී යයි

මිය යන්නට පණ අදිනා
අයෙකු නගන මර හඬ සේ
මා වට ඇති දස දහසක්
මුවග අදෝනා ලෙළ දෙයි

සැඩ හිරු රැස් කිරණ වැදී
ගත වියලෙන කල නිරතුරු
හිස සඟවන්නට පොර කයි
පාරේ වියැකෙන ජීවිත

ඔබ ගැන මතකය යට කොට
දුක් වළඳින අය පිළිබඳ
සිතුවිලි දහසක් මතුවෙයි

වෙරළක ඇඳි සිතුවම සේ
ඔබෙ රූපය කවි ලෝකෙන් මිය යද්දී
මා වට කළ අඳුර තුළින්
කවි දහසක් උපත ලබයි

(1976, මහරගම)

No comments:

Post a Comment