Friday, August 14, 2009

පර්ත් නුවර ජන කවි

ඉරත් හවස පැනල ගිහින් ලෝකයෙ කලූවර බැඳෙනව
හඳත් තරුත් නැහැ වැඩ අද අගුවට වී නිදි කිරනව
මගේ පාළු කැපූ අයත් නැහැ අද උන් දුර වෙසෙනව
තනිකම නම් හතුරෙකු සේ මේ ගෙයි එළියත් නිවනව

අඳුර අනේ ළමයකු සේ බිය වී ඉකි බිඳ අඬනව
මට තනිවට පාළු කැපූ පොත් සේරම සුසුම් ලනව
තනිකම නම් රකුසකු සේ පය තබමින් ගෙට ඇදෙනව
මගේ හිතේ දුක් නිවෙන්න සිංහල කවියක් ගොතනව

මගෙ ඇඟපත හිරිවට්ටන සීතල සුළඟක් ඇදෙනව
බඬේ ගින්න නැති කරන්න බත් කඳුළක් ගෙයි ඉදෙනව
තනිකම එළවන කවියක් පිරිත් වගේ හිතට එනව
මගෙ පාළුව නැති කරන්න සිංහල කවියක් ගොතනව

1 comment:

  1. නුඹෙ පාළුව මකා දමන සිහල කවියක පද වැල
    තනිකම රජයන මොහොතක සිතම එකම පිරිතක් විය
    බත් කඳුලක නොරැඳි ගින්න කුස තුලින්ම නොනැගෙන විට
    හද ගිනි ගෙන දුම් රොටු නැග සීතල සුළඟට මුසු විය

    ReplyDelete