Wednesday, August 26, 2009

ආරාධනයක්

(නීලා වික‍්‍රමසිංහ සහ කපිල හේරත් ට)

මගෙ කවියක සුවඳ රැගෙන
එන්න හනික සුළඟ ලෙසින
ගොළු මුහුදේ රළ විලසට
එන්න හනික මගේ ගමට

රජ උයනේ මල් අවදිව
සිනහ නගන දිනක එන්න
තිසර නදියෙ දිය පිඩු මත
සඳ රැළි සේ පාව එන්න

ඔබ හසරැළි මෙහි රඳන්න
එන්න මගේ නව ගම වෙත
මගේ හිතේ දුක නිවන්න
ජන කවියක් සේ ඇදෙන්න

පැරණි මතක රැගෙන එන්න
ළමා මතක කැටුව එන්න
අවුරුද්දට කොහෝ කියූ
ගීයක තනු රැගෙන එන්න

මැරුණු පෙමක සුවඳ හමන
පෙම් ගීයක් තබා එන්න
යුදට ගොසින් ගෙදර නොආ
පුතුගෙ පුවත රැගෙන එන්න

No comments:

Post a Comment