Thursday, August 13, 2009

කවියා

දිගන්තයේ පැතිරී ගිය
නුබ කුස පියසක් වන සඳ
තුරු වදුලක් රුක් සෙවනක්
ජීවිතයට වියන් බඳියි
පංකාවක සිසිලෙන් නොව
ගත දැවටෙන සුළං රොදින්
ජීවන සරතැස නිමවෙයි

ලොව දස අත විසිරී ඇති
සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
මව් පිය නෑයන් කුමට ද?
බිම් අඟලක උරුමය ගැන
ලියවුණු පත් ඉරු කුමට ද?
ලොව දස අත පැතිරී ගිය
බිම් උරුමය ලද මා හට
නෙක මන්දිර අටු කොටු හැම
වට කොට වැට බඳිණු කුමට?
ඉන් නො බැඳුණු වා ගැබ රැඳි
සුළං රොදක් වන්නෙමි මම

1976, කොළඹ

1 comment:

  1. නවසිය හැත්තෑ ගණන් වලින් මේ අඳුරැ යුගය වෙත කවි අරන් ‍එන කිවි සඳ...

    පායන් තවත් එකලාව
    පුරා සඳ සේ සුපුන් සිරි කඳ...

    ReplyDelete