Friday, August 14, 2009

දෙබසක්

උඩු සිත:
කිම ද ලියන්නේ සිහල කවි තවත්
කවුරුද කියවන්නේ ඒ සුළු කවි
මතක දිවයිනක මතකය කැටි කොට
නැත කිසි අසිරිය දුබලය හෙළ බස

යටි සිත:
කිම ද දොඩන්නේ කුරිරු වු බස් නුඹ
මව් බස කෙලෙස ද අමතක වන්නේ
ඒ බස හද බස නොවේ ද කිව මැන
දෙදහස් පන්සිය වසරක උරුමය
තිබේය මා හද රැඳි ඒ කවි බස

උඩු සිත:
නුඹ හද බස ගැන දොඩවනු කිම අද
සුදු බස නොවැ නුඹ ගත සරසන්නේ
ඒ බස දොරගුළු ඇත මහ ලොවකට
හැකිළී ගිය ගෝලය සැණකෙළියකි

යටි සිත:
සුදු බස ගත රැඳෙනා බව සැබවකි
එහෙත් හදේ ඇත මව් බස රූපය
ප‍්‍රථම පේ‍්‍රමයේ සිතුවම ලෙස මන
කෙළෙස ද අත් හරිනේ මා හද බස

උඩු සිත:
සිහල බසින් ලියු නුඹගේ කවි පොත්
ඩොලර ගෙනාවෙ ද කිතු ගොස් දුන්නෙ ද
සුදු වත ගෙන නුඹ ලියු සුළු කවි පොත
නිරතුරු කිතු ගොස ගෙන ආවා නොවැ
නුඹේ නමත් දැන් එතර ද පැතිරෙත
නුඹේ ගමත් දැන් එතර ද පැතිරෙත
ලියනු සබඳ අත හැර නුඹ හද බස
පළඳා සුදු මුහුණක් කළු උවනත

යටි සිත:
සුදු වෙස් මුහුණකි මා පළඳින්නේ
සුදු කවි නැත මා හද බස දන්නේ
ලියනා සුදු කවි නැත හද දන්නේ
මා මන හද බස විරිත් රකින්නේ

නැත ඩොලරය දුක් පහ කරලන්නේ
හෙළ කවියෙනි සිත දුක් දුරලන්නේ
ගත රැුඳෙනා දුක් මට අඟවන්නේ
සිත රැඳෙනා දුක් මට දන්වන්නේ

සසරේ ලතැවිලි තැවරී නිරතුරු
දුක් වී ගැහෙනා විට මා හදවත
හද බසම ය සිත සහන සදන්නේ
දුක් ලතැවිලි හැම පහ කරලන්නේ

මාර්තු - අප‍්‍රියෙල් 2009

ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව

2 comments:

  1. සුදු වෙස් මුහුණකි මා පළඳින්නේ
    00 01 0000 1 00011
    සුදු කවි නැත මා හද බස දන්නේ
    00 00 00 1 00 00 011
    ලියනා සුදු කවි නැත හද දන්නේ
    001 00 00 00 00 011
    මා මන හද බස විරිත් රකින්නේ
    1 00 00 00 001 0011

    00 01 0000 1 00011
    00 00 00 1 00 00 011
    001 00 00 00 00 011
    1 00 00 00 001 0011

    මම කවියෙක් නොවෙමි. ගණිතයෙක්මි.
    එනිසා මට මේ කවියේ ශබ්ධ අතර ඇති රටා සමග සිත් බැඳේ...අර්ථ රස සමග මද ලෙස බැඳෙමි.

    ලඝු 0 නුත් ඒ කියන්නේ කෙටි ස්වර
    ගුරැ 1 නුත් ඒ කියන්නේ දීර්ඝ ස්වර අංකනය කරාම ලැබෙන ද්විමය කේතය තමයි මම ඔය ලියල තියෙන්නේ පහලින්.

    00 01 0000 1 00011=14
    00 00 00 1 00 00 011=14
    001 00 00 00 00 011=14
    1 00 00 00 001 0011=14

    මේ රටාවට කියන්නේ කුමක්හෝ විශේෂණයක් සමග විරිතක් කියල.

    මට ඒ ගැන තව සොයන්න මේ ඉඩකඩ විවර වීම ප්‍රමාණවත්.

    සුනිල් ගෝවින්නයනි ඔබට
    ජයෙන් ජය වේවා!

    ReplyDelete
  2. සුදු වෙස් මුහුණකි මා පළඳින්නේ
    11 2 1111 2 1122=16
    සුදු කවි නැත මා හද බස දන්නේ
    11 11 11 2 11 11 22=16
    ලියනා සුදු කවි නැත හද දන්නේ
    112 11 11 11 11 122=17
    මා මන හද බස විරිත් රකින්නේ
    2 11 11 11 12 1122=17

    මට හිතෙන්නේ ලඝු ගුරැ සටහන හෙවත් මාත්‍රා ප්‍රස්ථාරය මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලයි.

    දෝෂයක් නොවෙයි කලින් එක නමුත් ගුරැ වශයෙන් ගන්න මාත්‍රා දෙකේ ශබ්ධ වලට අදාල වන එකක් දක්වලා තිබ්බා ලඝු ගුරැ ව‍ශයෙන්.

    වෙස්=2
    වෙස්<> 1+2

    ReplyDelete